හෙට දිනයේ දී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට හමුදාව කැඳවීමට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර විසින් ගෙන ඇති තීරණයට විරෝධය පලකිරීමක් ලෙස ගුරු අධ්‍යාපනඥ සේවයේ සියලුම වෘත්තිකයන් අද (17) දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් වෙත එළඹ තිබේ.
වර්ෂ 2021/2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෝ නිමා වී නැති පරිසරයක හෙට දිනයේ සිසුන් බඳවා ගැනීම ආරම්භ කරන ලෙස සිදුකරන බලපෑමට විරෝධය පලකිරීම සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ පවතින වෘත්තීය ගැටලු කීපයක් නිරාකරණය කරදෙන ලෙස ඉල්ලා සිටීම සඳහා බඳවා ගැනීම් ක්‍රියාවලියෙන් ඉවත්වීමට ගුරු අධ්‍යාපනඥ වෘත්තිකයින් තීන්දු කිරීමත් සමග අධ්‍යාපන ලේකම්වරිය ඉතිහාසයේ පළමු වරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවා කලාප අධ්‍යාපන කාර්යාල හරහා අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමට නියෝග කර ඇති බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය ප්‍රකාශ කරයි.
මැතිවරණයක් ඉලක්ක කරගෙන සිදුකරන දේශපාලන හැඩයක් සහිතව අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම කඩිනම් කරවා ගැනීම සඳහා කරන මෙම බලපෑම සිසුන්ගේ ද ජිවිතවලට විශාල හානියක් සිදුවන බව පෙන්වා දෙන ගුරු අධ්‍යාපනඥ සේවයේ වෘත්තීය සංගම් මේ වනවිට සිදුවෙමින් ඇති බඳවාගැනීම්වල පවතින ගැටලු රාශියක් හෙළිදරව් කරයි.
- විද්‍යාපීඨ සඳහා සිසුන් බදවා ගැනීමට මෙතෙක් සිදුකළ ක්‍රමයට පිටින් ගොස් පෞද්ගලික සමාගමක් වෙත පවරා දීම නිසා විනිවිදභාවයක් නොමැති වීම
- මෙවර ශාරීරික අධ්‍යාපන විෂයට පමණක් පැරණි ක්‍රමයට සම්මුඛ පරික්ෂණ දෙකක් පවතින අතර අනිත් විෂයන් සදහා online ක්‍රමයෙන් පමණක් අවසන් තෝරාගත් ලැයිස්තුව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීම.
- පෙර වසරවල සම්මුඛ පරික්ෂණයට කැඳවීම සිදු කරනු ලැබුවේ ලියාපදිංචි තැපැලෙන් වන අතර මෙවර අන්තර්ජාලය සහ SMS හරහා පමණක් සිසුන්ට සහතික පරික්ෂා කිරීමේ දින දැනුම් දීම. බහුතරයක් සිසුන්ට පසු දින පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයට පැමිනෙන ලෙස දැනුම් දී ඇත්තේ පෙර දින රාත්‍රී 9 න් පසුවය. මේ නිසා සිසුන් විශාල අපහසුතාවයන්ට පත් වී ඇත.
- onlin ක්‍රමවේදය හරහා ඉතා නිවැරදිව සුදුස්සන් තෝරන බව අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස්වරිය පැවසුව ද සැබෑ තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ය. ICT පළමු කැමැත්ත ලෙස ඉල්ලු ඒ සදහා ඉහලම සුදුසුකම් ඇති අපේක්ෂකයන්ට තුන්වන කැමැත්ත ලෙස ඔවුන් නම් කර ඇති ඉංග්‍රීසි විෂය සඳහා තෝරා ගෙන ඇත.
- එකම සිසුන් වසර දෙකකින්ම විද්‍යාපීඨ සදහා තෝරා ගැනීම… ඒ නිසා වෙනත් සිසුන් රාශියකට අවස්ථාව අහිමි වී තිබීම.. පෙර වසරවල මේ ආකාරයට එකම නම දෙවරක් එකම විෂය වෙනුවට තේරීම වැලැක්වීමට හරස් පරික්ෂාව නම් ක්‍රමය යොදා ගෙන තිබිණි. මෙවර එවැනි ක්‍රමයක් නැති නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබේ.
- සිසුන්ට ගැසට් නිවේදනය අනුව පළමු කැමැත්ත දෙවන කැමැත්ත ආදි ලෙස ඉල්ලුම් කළ හැකි අතර මෙම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඒ සදහා අවස්ථාව ලැබී නොතිබීම.
මෙවැනි බරපතල අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල බඳවා ගැනීම් ක්‍රියාවලියට එරෙහිව සිසුන් තිදෙනෙක් මානව හිමිකම් නඩු ගොනු කර ඇති බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.
සම්මුඛ පරික්ෂණ අවසන් වීමටත් මත්තෙන් හෙට දින සිට වහාම සිසුන් බදවා ගන්නා ලෙස පීඨාධිපතිවරුන්ට බලපැම් කිරීමට වැඩබලන ප්‍රධාන කොමසාරිස් කටයුතු කරන්නේත්, එම බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ගුරු අධ්‍යාපනඥ වෘත්තිකයින් ගත් තීන්දුවත් සමග ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවීමට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර තීරණය කරන්නේත් ඔවුන්ගේ මූලික වෘත්තීය ස්වරූපවල හරය මුලුමනින්ම විනාශවන අත්තනෝමතික ආකාරයෙන් බවත්, ඊට එරෙහිව අද දින ලෙඩ නිවාඩු වාර්තා කරන බවත් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.









