ජාත්‍යාන්තර සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට පෙර ජාත්‍යාන්තර විශ්වාසය තහවුරු කළ හැකි ස්ථාවර රජයක් ස්ථාපිත කළ යුතුව ඇතැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර අද (25 ) නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
තවදුරටත් අදහස් දැක්වමින් මහ නාහිමියෝ මෙසේද පැවසූහ.
“වර්තමාන රජය පවත්වාගෙන යාමේ ගැටලු උද්ගතව පවතින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. නමුත් මේ රජයට තව කෙටි කාලයක් තිබෙන බැවින් රජය විසුරුවා හැරීමට කටයුතු කරන එකක් නෑ කියලයි අපි හිතන්නේ.“
“ ස්ථාවර රජයක් සඳහා සියලුම පාර්ශවයන්ගේ සහයෝගය ලබාගෙන කටයුතු කළ යුතුයි. රට වැටී ඇති අසීරු තත්ත්වය පිළිබඳ සියලු දෙනා මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතුයි. නමුත් විවිධ පක්ෂ විවිධාකාරයෙන් කටයුතු කරනවා.“
“අද රටේ ජනතාවට විශාල වශයෙන් ගැටලු තියෙනවා. ආර්ථික ගැටලු රැසක් උද්ගතව පවතිනවා. අද ගොවි ජනතාව තමන්ගේ වී ටික විකුණගන්න බැරුව අපහසුතාවයට පත්වෙලා. රජයේ වී ගබඩා වසා දමා තිබෙන බව මාධ්‍ය තුළින් අපි දැක්කා.මේ ප්‍රශ්න විසඳන ක්‍රම සොයා බැලිය යුතුයි. අවම වශයෙන් ගොවි ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න කඩිනමින් විසඳීමට පියවර ගත යුතුයි. තරුණ ගැටලු වලට විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. “
අමාත්‍යය මහින්ද අමරවීර මෙහිදී නාහිමියන් හමුවේ මෙසේ පැවසුවේය.
“ මුදල් ගැටලු මත යම් ආකාරයකින් අඩපණව පවතින ගොවීන්ගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ඉතා කඩිනමින් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ජනපතිතුමා උපදෙස් දුන්නා. මේ වන විට මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීමේ කටයුතු සහනාධාර ක්‍රමයට සිදුවනවා . ඒ අනුව ගොවීන්ට නොමිලේ රසායනික පොහොර මිටියක් ලබාදීමට අමතරව අනෙකුත් පොහොර කොටස සහනාධාර ක්‍රමයට ලබාදීමට පියවර ගන්නවා.“







