විදුලි ගාස්තු වැඩි වීමක් සිදුවූ නිසා ජනතාවට බලපෑමක් නොවන ආකාරයෙන් ජල ගාස්තු ද ඉහළ නැන්වීමට සිදුවන්නේ යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.
ජල ගාස්තු වැඩි කිරීම සඳහාවන යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාලයටද යොමුකර තිබෙන බවත් විරුද්ධ පක්ෂ ද මේ සඳහා සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු කීය.
පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර කථානායකවරයාගේ නිවේදනය ඇතුළු මූලික කටයුතු අවසන් වූ පසු වාචික පිළිතුරු සඳහා ප්‍රශ්න වටය ආරම්භ කරනු ලැබීය.
ජල ගාස්තු සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළේය.
මෙම ප්රශ්නය මතු කිරීම ගැන මුලින්ම ස්තුතිවන්ත වන බවත් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව ගැන පසුගිය පෙබරවාරි මාසයේ දී තමන් පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කළ බවත් හෙතෙම පැවසුවේය.
විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමනාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 දක්වා ඉහළ ගොස් ඇතැයි ද මෙයට අමතරව රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ගෙවීමට තිබෙන බව ද ඇමැතිවරයා කීය.
ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවත් පස් දෙනෙකු ඉන්නා පවුලක ජලය පාවිච්චි කෙරෙන්නේ ඒකක 15- 20 අතර ප්‍රමාණයක් බවත් කී ඇමතිවරයා ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමෘද්ධි භාවිත කරන්නන්ට බලපෑමක් ඇති නොවන බව ද අවාධාරණය කළේය







