ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයා ගත් රුපියල් ලක්ෂ 170ක මුදල සම්බන්ධ විමර්ශනය පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත්වරයා අද (25)පොලිස්පතිවරයාට නියෝග කළේය.
ජනාධිපති මන්දිරයේ සුරක්ෂිතව තිබූ මෙම රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එම මන්දිරයේ අත්පත් කරගත් විරෝධතා කරුවන් පිරිසක් විසින් සොයාගෙන පසුගිය මැයි (09) සවස කොටුව පොලිසියට භාර දී තිබිණි.
එම මුදල පිළිබඳව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේට බරපතල බලපෑම් එල්ල වූ බව වාර්තා විය.
අනතුරුව එම මුදල පිළිබඳ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් ඉවත් කර පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
මෙම මුදල් සම්බන්ධව පමණක් නොව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම මුදල් සඳහා කළ බලපෑම් සම්බන්ධවත් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බව දන්වා කොටුව පොලිසියෙන් මෙම මුදල සහ අදාල ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගෙන ඇත.
ඉහළ නියෝග මත මෙම මුදල් තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්වන්නේ කොටුව පොලිස් ස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂක සාගර ලියනගේ විසින් මැයි මස 12 වැනිදා උසාවියට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබිය දී ය.







