ජනපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනපතිවරයා ප්රමුඛ ආණ්ඩුව රටේ ආර්ථික ප්‍රශ්න ගණනාවක් මතු පිටට නොපෙන්වා යට ගසාගෙන සිටින බවත් එහි නියම ප්‍රතිපල ඉදිරි මාස කිහිපයේ දී ජනතාවට අත්විඳීමට සිදුවන බවත් ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
ආර්ථික අතින් කඩා වැටුණු රටක ජනතාවට ලබාදීම තබා සිතන්නටවත් නොහැකි ආකාරයේ වැටුප් වැඩිවීම් ඇතුළු සහන වත්මන් ජනපතිවරයා මෙන්ම විපක්ෂනායකවරයාද යෝජනා කරමින් සිටින බවත් කිසිසේත් සිදුකළ නොහැකි පොරොන්දු ලබා දෙමින් මොවුන් නැවත වතාවක් උත්සහ කරන්නේ මේ රටේ ජනතාව මුලා කිරීමට බවත් ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක් වූ කීර්ති වික්‍රමරත්න මහතා මෙසේද පැවසුවේය.
ගමේ විහාරස්ථානයක මල් වට්ටි වෙන්දේසියක් සිහිවන ආකාරයට තමයි අද මේ රටේ ජනපති හා විපක්ෂනායක කටයුතු කරන්නේ. අතේ සල්ලි නැතත් ගමේ තරුණයෝ මල් වට්ටියට බොරුවට ලංසු තියලා මිල නග්ගනවා. ජනපතිවරයා හා විපක්ෂ නායක වරයාත් ඒ ආකාරයට තමයි වැටුප් වැඩි කිරීම් ඇතුළු සහන ලබා දෙන්න යෝජනා කරන්නේ. මේවා කරන්න භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව මේ දෙන්නම දන්නවා.
බංකොලොත් රටක පවත්වන ජනපතිවරණයක දී මේ තරම් මුදල් කන්දරාවක් අපේක්ෂකයින් ට වියදම් කරන්න පුළුවන් ද ?. ඇත්තටම බංකොලොත් වෙලා ඉන්නේ මේ රටේ ජනතාව විතරයි. රට බංකොලොත් කළ අය බංකොලොත් වෙලා නැහැ. ඒ අයට වියදම් කරන්න ඕනෑ තරම් මුදල් තියෙනවා. ජනාධිපතිවරණයෙන් පසු බොහෝ විට මහ මැතිවර්ණයත් එයි. එතකල් මේ පාලකයෝ රටේ ප්‍රශ්න යටපත් කරගෙන ඉන්නවා. ඒ අය දන්නවා ඇත්ත තත්ත්වය දැන ගත්තොත් රටේ ජනතාව ඒ අයව ප්‍රතික්ෂේප කරන බව. ඡන්ද සියල්ල අවසන් වූ පසු මේ රටේ ජනතාවට තව තවත් දුක් පීඩා විඳින්නට සිදුවන බව ස්ථිරයි. මේ අය ජනපතිවරණය වෙනුවෙන් සිදු කරන නාස්තිකාර වියදම් වලටත් වන්දි ගෙවන්න සිදුවන්නේ ජනතාවට යි. රාජ්‍ය සේවකයින්ට දැන් ගෙවන වැටුපත් ගෙවා ගැනීම අසීරු තත්ත්වයක තිබිය දී කොහොමද දස දහස් ගණනින් වැටුප් වැඩි කරන්නේ. මේ රටේ ඡන්ද දායකයා මේවා ගැන කල්පනා කර බැලිය යුතුයි.
නිදහසින් පසු අපි පුද්ගලයින් හා පක්ෂ මූලික කරගෙන තමයි ඡන්දය පාවිච්චි කළේ. පුද්ගලයින් හා පක්ෂ දිනවීමට ගොස් අවසානයේ රට බංකොලොත් වුණා. ඒ වෙනුවට අපි වැඩපිළිවෙළක් ජයග්‍රහණය කළ යුතුයි. එහෙම වුණොත් තමයි අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. විදේශ රට වලින් ණය අරන් ඒ ණයට හිලව් වෙන්න රටේ වටිනා සම්පත් විකුණනවා නම් ඒ අය හොඳ පාලකයින් ද ?. ගෙදර තිබෙන බඩු මුට්ටු විකුණාගෙන කන්න නම් ආර්ථික කළමනාකරණයක් මොකටද ?.
මේ පවතින ණය කන්දරාව ගෙවා දමන්න නම් අපි ඩොලර් උත්පාදනය කළ යුතුයි. දේශීය සම්පත් විදේශිකයින් ට කුණු කොල්ලයට නොවිකුණා දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න අපි උත්සහ කළ යුතුයි. මේ මහ පොළොව යට විටිනා සම්පත් රැසක් තිබෙනවා. ඇත්තටම අපි නිධානයක් උඩ ඉදගෙන කදුළු සලන ජාතියක්. අපේ මිනිරන් සම්පතට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මිනිරන් වලින් සකස් කර ගන්නා ග්‍රැෆීන් ග්‍රෑම් 01 ක මිල ඇමරිකානු ඩොලර් 1000 යි. සූර්ය බල ශක්තිය ගබඩා කර තබා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේවා අවශ්‍යය යි.
මේ නිසා ලෝකයේ ඉහළ ඉල්ලුමක් මේකට තිබෙනවා. මේ කර්මාන්තය දියුණු කළොත් වසර හතරකින් අපිට අපේ සියලු ණය ගෙවා දැමිය හැකියි. කොමිස් වලට වහ වැටුන දේශපාලනඥයින් හා නිලධාරීන් මේකට ඉඩ දෙන්නේ නැහැ. මම මේ ජනපතිවරණයට ආවේ වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීමටයි.
මෙම අවස්ථාවට අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක ජයලාල් නිශ්ශංක, වෛද්‍ය මංගල පුෂ්පකුමාර, ජ්‍යෙෂ්ඨ පරිගනක ඉංජිනේරු රනිල් අල්ගම, විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර ඇතුළු පිරිසක් සහභාගි වූහ







