රජයේ සේවක වැටුප් වැඩිකිරීම ගැන පැහැදිලි කරමින් ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මැතිවරණ අල්ලසක් බවත්, හෙට ඇරඹෙන රාජ්‍ය සේවක තැපැල් ඡන්දය අපේක්ෂාවෙන් ආණ්ඩුව මේ ලියැවිල්ල ඉදිරිපත් කර ඇති බවත් කියමින් සමගි ජන බලවේගය අද (03) මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තැපැල් ඡන්දය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ඉදිරිපත් කළ මෙම දේශපාලන දිරිගැන්විමේ ලයිස්තුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරන බවට චෝජනා කරන සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමට පැමිණිලි කර සිටින්නේ මෙය ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවය.
සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින් ඉල්ලා සිටින්නේ වහාම මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙසය. අදාල නිවේදනය ඉල්ලා අස් කරගන්නට නියෝග කරන්නැයි ද සමගි ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.







