ජනසතු සේවා ක්‍රිකට් සංගමයට අයත් රත්මලාන ගුවන් තොටුපළ අසල ක්‍රීඩාංගණය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 600 ක් වෙන් කිරීමට යන බව වාර්තා වේ.
පසුගිය වසර කිහිපය මුළුල්ලේ මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් විශාල මුදලක් ක්‍රිකට් ආයතනය මගින් වරින් වර ලබා දී තිබියදී එහි ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කිරීම ඇතුළු නවීකරණ වැඩ වෙනුවෙන් මෙම මුදල ලබා දීමට යයි.
ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති හා ලේකම් මේ වන විට නොකඩවා වසර දහයකට ආසන්න කාලයක් එම නිලතල හෙබවීම විශේෂ සිද්ධියක් වන අතර ඔවුන් දෙදෙනා වරින් වර මාරුවෙන් මාරුවට ක්‍රිකට් විධායක සභාවටද තේරී පත්ව ඇත.
ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාවද සාමාජිකත්වය නොමග යවමින් හොර රහසේ වෙනස් කර මොවුන් දෙදෙනාට එක දිගට ප්‍රධාන නිලයන් දැරීමට හැකි වන පරිදි සංශෝධනය කර ඇති බව එහි සාමාජිකයෝ පවසති.
මොවුන් දෙදෙනා ක්‍රිකට් ආයතනයේ සියලු වරප්‍රසාද ලබමින් ඩොලර් දීමනාව සහිතව විදෙස් සංචාර රැසක නිරතව ඇත. ඒ තරග නැරඹීම සඳහාය.
එහි වත්මන් සභාපති වරයා පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ඩොලර් 7000 ක දීමනාවක් සහිතව ඕස්ට්‍රේලියාවටද ගියේය.
ඔහු ඊට පෙර පැවති එක්දින ලෝක කුසලාන තරග නැරඹීමට ඩුබායි වෙතද ගොස් තිබීම විශේෂත්වයකි.
මේ අතර ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයකු ලංකාසරට පැවසුවේ එහි එක් නිලධාරියකු මේ වන විට ලක්ෂ 800 ක පමණ සුඛෝපභෝගී නිවසක් රත්මලාන ප්‍රදේශයේ ඉදි කරමින් සිටින බවයි.







