දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙක සදහා වෙනම කාදිනල්වරයෙකු පත්කරන ලෙස උතුරු නැගෙනහිර රදගුරු හිමිවරුන් වතිකානුවෙන් ඉල්ලීමක් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ කතෝලිකයන් ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් පාවා දෙන බව හැගී යන නිසා මෙම ඉල්ලීම කළ බව යාපනයේදී අදහස් දැක් වූ ජෝශප් පතිනාතර් ජෙබරත්නම් පියතුමා ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටීම වරදක් නොවන නමුත් උතුරු නැගෙනහිර යුද්ධයේදී මියගිය පිරිසට සාධාරණයක් ඉටු කිරීමට කවරෙකු හෝ පෙනී නොසිටින නිසා මෙවැනි ඉල්ලීමක් කිරීමට සිදු වූ බවද ජෙබරත්නම් පියතුමා සදහන් කළේය.
“ 1995 දී යාපනයේ නවාලි සෙන් පීතර දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 147 දෙනෙකු මිය ගිය අතර 200 දෙනෙක් තුවාල ලැබුවා.
“ ඒ අවස්ථාවේදී උතුරු – නැඟෙනහිර රදගුරු හිමිවරුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වූ නමුත් දකුණෙන් ඊට ප්‍රතිචාරයක් නැහැ.“
“ පූජකවරුන් හත් දෙනෙකු ඇතුළු කන්‍යා සොහොයුරියන් කිහිප දෙනෙකු යුද්ධයේදී මිය ගියා.“
“ 1995 දී පූජ්‍ය මේරි බැස්ටියන් ඇගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කළා. ඉන්පසුව කොළඹ මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවට යාමට පෙර ඇය ප්‍රසිද්ධියේ මරා දැමූ බවයි. “
“යාපනයේ කන්‍යා සොහොයුරිගේ මැදිහත්වීමෙන් කොළඹ කන්‍යා සොහොයුරියක් විසින් ගරු මේරි බැස්ටියන් වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් සංවිධානය කළා. මෙම අවස්ථාවට සහභාගි වීමට තමන්ට අවශ්‍ය නැති බව දකුණේ රදගුරු හිමිවරුන් පවසා තිබුණා.“
“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණය ඉටු කරන ලෙස කොළඹ අගරදගුරු තුමා ඉල්ලා සිටිනවාට අපි විරුද්ධ නැහැ. එලෙසම දෙමළ ජනතාව ඝාතනය වූ විට එම දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා නොසිටියේ ඇයි?.“ ඔහු විමසා සිටීයි.
උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව උතුරු සහ නැගෙනහිර රදගුරුවරුන් ඉල්ලා සිටින අතර, දකුණේ රදගුරු හිමිවරු කියා සිටියේ එය අනවශ්‍ය බවයි.
“යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව කොළඹ අගරගුරු හිමියන් පවසනවා. අවාසනාවකට දකුණේ කතෝලිකයන්ට උතුරට හා නැඟෙනහිර දෙමළ ජනයාට සිදු වූ දේ යම් දිනක තමන්ටත් සිදුවනු ඇතැයි නැනගෙන සිටියෙ නැහැ. දැන් කතෝලිකයන් දෙපිරිසම දුක් විඳනවා…“ ජෝශප් පතිනාතර් ජෙබරත්නම් පියතුමා සඳහන් කළේය.