රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් රියදුරන් මහා මාර්ගය තුළ සිදුකරන වැරදි එම අවස්ථාවේදීම හඳුනාගෙන දඩ ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත් සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පවසයි.
එම වැරදි නිරීක්ෂණයන් සඳහා නවීන තාක්ෂණික කට්ටල 5000 මේ වන විට දිවයිනට ගෙනවිත් ඇතැයි ද මෙම ක්‍රමවේදය ලබන ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවද ඇමතිවරයා කියයි.
ඔහු මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඒකාබද්ධව නව වේග සීමා පතිපත්තියක් ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා. “
“අධික වේගය නිසා සිදුවන අනතුරු සීග්‍රයෙන් ඉහළ යාම නිසා එම අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් වේග සීමා ප්‍රතිපත්තියක් මෙලෙස ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කරමින් පවතිනවා. “
“මෙහි නාගරික සීමාව තුළ සහ ග්‍රාමීය සීමාව තුළදී වාහනයක් ධාවනය කළ හැකි උපරිම වේග සීමාව දැක්වෙනවා. කඳුකර වැනි ප්‍රදේශවලට වෙනත් වේග සීමාවක් පැනවීමට ද කටයුතු කරනවා. එම වේග සීමා මාර්ගය තුළ සලකුණු කිරීමට ද ඉදිරියේදී කටයුතු කරනවා. මෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විටත් ක්‍රියාත්මකයි.”







