එළඹෙන ජනවාරි 15 වෙනිදායින් පසු බොහෝදුරට දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි මාසය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිශ්චිතවම වසා දැමීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
දැනටත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක නොදන්වා විනාඩි 45 ක පමණ කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරමින් පවතින අතර එසේ නොදන්වා විදුලිය කප්පාදු කිරීම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන නීති විරෝධී ක්‍රියාවක් බව මන්ත්‍රීවරයා කියාසිටී.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් තොගය දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රමාණවත් වන්නේ ජනවාරි මැද දක්වා පමණක් බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ අනුව දෙසැම්බර් 10 වැනිදා පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ ද, විදුලිබලය නිෂ්පාදනය සඳහා පැවැති තොගය මෙට්‍රික් ටොන් 16000 ක් පමණක් වූ අතර, දිනකට විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කෙරෙන තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 කට සීමා කර තිබූ බව ඔහුගේ අදහසයි.
ඒ ආකාරයෙන් පිරිපහදු තෙල් භාවිතා කළ ද එය ප්‍රමාණවත් වන්නේ දින 25 කට පමණක් වන අතර, විදුලි බල උත්පාදනය සඳහා භාවිත කිරීම සඳහා අමතරව පවතින්නේ පිරිපහදු තෙල් මෙට්‍රික් ටොන් 12500 ක ප්‍රමාණයක් පමණක් බව ද හෙතෙම කීය.
මේ අතර විදුලිබල මණ්ඩලය සතුව ඔවුන්ගේ ගබඩාවල පවතින තෙල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21,200 ක් පමණක් බවත් මෙම තත්ත්වය තුළ විදුලිය නිෂ්පාදනය සඳහා පිරිපහදු තෙල් නිකුත් කිරීම නැවැත්වීමට ද සිදුවනු ඇති බව ද මන්ත්‍රීවරයා කීය.