පොහොට්ටුව සමග ජනාධිපතිවරයා ඇති කරගත් එකඟතාවයක් මත ආණ්ඩුකාර ධූර බෙදා ගැනීමේ සැලසුමකට අනුව ආණ්ඩුකාරවරුන් 04කුට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දීමක් කළ ද ඔවුන් ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇත්තේ පොහොට්ටුවේම දේශපාලන ප්‍රබලයෙකුගේ උපදෙස් මත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස තමන් දැනුම් දි ඇති බවය.
නැගෙනහිර ආන්ඩුකාර අනුරාධා යහම්පත් මෙම දැනුම්දීමට අනුව ඉල්ලා අස්වීමට සූදානම් වුවද පසුව පැමිණි බලපෑම නිසා ඇය ආණ්ඩුකාර ධූරයේ තවදුරටත් රැඳී සිටීමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඕෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පොහොට්ටු ප්‍රධානියාගේ මෙහෙයවීම මත තවදුරටත් වයඹ ආණ්ඩුකාර ධූරයේ රැඳී සිටීම සඳහා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයෙන් මෙතෙක් ලිඛිත නිල දැනුම් දීමක් කර නැති බවය. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මේ වනතුරු කිසිම ප්‍රකාශයක් සිදුකර නැත. ලිඛිත දැනුම් දීමක් සිදුකර නැති බැවින් මෙතෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති ආණ්ඩුකාරවරු තිදෙනෙක් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ උතුරු, නැගෙනහිර, වයඹ සහ සබරගමුව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යලය හරහා දැනුම් දුන් බවය.
රටේ ගෞරවනීය සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරයෙකු ඉවත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම බවත් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමෙන් මාස කීපයක් ගත වී ඇතත් දැන් ලිඛිත ඉල්ලීම් බලාපොරොත්තුවෙන් ධූරවල රැඳී සිටින්නට උත්සාහ කරන මෙම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවූ බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එබැවින් ඔවුන්ට ඒ සම්බන්ධව සිහිකැඳවීමක් කර ධූරවලින් ඉවත්වන ලෙස වාචිකව දැන්වූ බව ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා දේශපාලන ගමනක මූලික අවස්ථාවක් ලෙස ආණ්ඩුකාර ධූර පහක් පොහොට්ටුවටත්, ධූර 04ක් එක්සත් ජාතික පක්ෂයටත් බෙදී යන ලෙස නව පත්කිරීම් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මුල් අවස්ථාවේ දීම එකඟතාවයකට පැමිණ තිබිණි.