ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායක නිලධාරීන්ගේ සංසදය පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් එම සංසදය පවසන්නේ මෙම ඉවත් කිරීම සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව බවත්, එය නැවැත්වීමට වහාම කටයුතු කරන ලෙසත්ය.
හිටපු මහබැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය වීරසිංහ පත් කර ඇති බවත් ජූලි පළමු වැනිදා එම ධුර කාලය නිමාවන බවත් ඔව්හු පෙන්වා දෙති. මහ බැංකුවේ විශ්‍රාම ලත් විධායකනිලධාරීන්ගේ සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉන් අනතුරුව එළඹෙන වසර හයක කාලය සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහව යළි පත් කරන ලෙසය.
රට මුහුණදී ඇති මෙම බැරෑරුම් තත්ත්වය හමුවේ අත්හදා බැලීම් කළ නොහැකි බව පවසන එම සංසදය ආචාර්ය නන්දලාල් වීරසිංහට මහ බැංකුවේ විශ්වාසනීයත්වය සහ වෘත්තීය ගෞරවය රැක ගනිමින් මේ මොහොතේ ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති බව පෙන්වා දෙයි.
මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විරසකයක් ඇති බවට පළවන ඇතැම් වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අවධාරණය කළේය.







