-
දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නේ ඉස්කෝල වහල විභාගත් නවත්තල ද?… ගුරු සංගම් අසයි…
එළඹෙන ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකරන ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් ස්වරූපයෙන් ජනපති අරමුදලින් ක්‍රියාත්මක කරන පාසල් දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කර ඇති බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන වෙනුවෙන් හෙට (16) හා අනිද්දා (17) දින දෙකේ පාසල් වාර විභාග නොපැවැත්වෙන ආකාරයට විභාග කාල සටහන සකස් කර ඇති බවත් මේ වනවිට රජයට චෝදනා එල්ල වෙමින් තිබේ.
මධ්‍යම පළාතේ පාසල්වල පසුගිය 10 දින ආරම්භ වූ වාර විභාගය 19 වෙනිදා දක්වා පැවැත්වෙන නමුත් ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් හෙට සහ අනිද්දා දින දෙකක් විභාග නොපැවැත්වීම ජනාධිපතිවරයෙක් ලෙස ලජ්ජාවට පත් විය යුතු කිසිම දියුණු සමාජයක නොසිදුවන අන්දමේ තුන්වැනි පන්තියේ වැඩක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේය.
ගුරුවරයින්ගේ අතිශය සාධාරණ වෘත්තීය ගැටලුවක් වෙනුවෙන් කරන අගලයක් කඩාකප්පල්කාරි ත්‍රස්තවාදී ව්‍යාපෘති ලෙස දකින ආණ්ඩුව ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ ආකාරයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම අර්ථ දැක්විය හැක්කේ කෙසේදැයි ලේකම්වරයා විමසා සිටියේය.
ප්‍රතික්ෂේප කළ යුත්තේ මේ පිළිකුල් සහගත දේශපාලනය බව ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 මධ්‍යම පළාත් සමාරම්භය සනිටුහන් කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 3134 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ජනපති අරමුදල මගින් රුපියල් බිලියන 4ක මූල්‍ය ප්‍රතිපාදන ශිෂ්‍යත්වය වැඩසටහන සඳහා වෙන්කර ඇත.
ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනාධිපතිවරණයට පෙර දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000කට ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරෙයි







