ලලිත් චාමින්ද –
ජනාධිපතිවරයා විසින් කොළඹ හා ඒ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධිආරක්ෂිත කලාප ලෙස නම්කරමින් නිකුත්කොට ඇති අති විශේෂ ගැසට් පත්‍රය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට කටයුතු කරන බැව් පාර්ලිමෙන්තු මන්ත්‍රි එම් සුමන්දිරන් ඊයේ (24) පස්වරුවේ ගාල්ලේ දී පැවසිය.
ත්‍රස්තවාදි පනත වහා හකුලාගන්නා ලෙස බලකරමින් ගාල්ල නගරයේ දී පැවති අත්සන් ලබාගැනීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. එහිදි මන්ත්‍රිවරයා මෙසේද කිවේය.
“ජනාධිපතිවරයා විසින් අධිආරක්ෂිත කලාප කියලා ගැසට් එකක් නිකුත්කරලා තියෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ රජයේ රහස් පනත යටතේ. මෙම පනත යොදාගෙන විශාල ප්‍රදේශයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා. “
“මේක නීති විරෝධි ක්‍රියාවක්. මෙවැනි ගැසට් නිවේදන නිකුත් කරලා ජනතා නැගිටීම මර්ධනය කරන්න බැහැ. පැරණි පනත් බලලා ජනාධිපතිවරයාට කවුරුහරි උපදෙස් දෙන්න ඇති මෙහෙම කරන්න කියලා. රාජ්‍ය රහස් පනත යෙදාගෙන ජනතා විරෝධය මර්ධනය කරන්න බැහැ. “
“ එම නිසා මෙයට එරෙහිව කටයුතු කරන අතර අධිකරණය ඉදිරියේ දි අපි මේ පනත අභියෝගයට ලක්කරණවා. මෙහෙම ගියොත් මේ රටේ කාටවත් ජිවත්වෙන්න බැරිවෙනවා. නිදහස් කලාප නැතිවෙනවා. මේ තුළින් ජනතා නැගිටීම මර්ධනය කරන්න බැහැ. එක සාර්ථක වෙන්නේ නෑ…“ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි විසින් අත්සන් ලබාගැනිමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.