චීනයෙන් ඉන්දියාවට එල්ල වන බලපෑම කිසිඳු අයුරකින් අඩුවී නොමැති බවත් මේවන විට භූමියෙන්ම මෙන්ම අනෙකුත් අංශවලින්ද බලපෑම් එල්ල වන බවත් ඉන්දීය ආරක්ෂ අංශ ප්‍රධානීන් අනතුරු අඟවා තිබේ.
ඉන්දීය හමුදාපති ජෙනරාල් මනෝජ් පාන්ඩේ ඇතුළු හමුදා ප්‍රධානීන් පසුගියදා අදහස් දක්වමින් ඉන්දියාවට එල්ල වන නවතම අභියෝගය සම්බන්ධයෙන් මෙලෙස අදහසක් දක්වා තිබිණි.
එහිදී ඉන්දිය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් පාන්ඩේ පවසා සිටියේ ඉන්දියාව ඉකුත් මාස 28ක කාලය තුළදී ලඩක් හීදී චීන හමුදාවන් එල්ල කළ තර්ජනාත්මක ක්‍රියාවන්ගෙන් නිසි අවබෝධයක් ගෙන ඇති බවයි.
‟අපි ඉකුත් මාස 28ක කාලය තුළදී අපිට විශාල දෙයක් ඉගෙන ගැනීමට හැකියාව ලැබුනා. ඒ අනුව අපි මේ වන විට ඕනෑම වෙලාවක මෙහෙයුමක් කරන්න සුදානමිනුයි සිටින්නේ. එහිදි අපේ යටිතල පහසුකම් සහ ඒ සඳහා අවශ්‍ය සියලුම දෑ සූදානම් කරගෙනයි සිටින්නේ. ” යනුවෙන් ජෙනරල් පාන්ඩේ පවසා තිබිණි.
මේවන විට චිනය ඉන්දියාවට බලපෑම් කිරීම භූමියට පමණක් සීමා වී නොමැති බවත් සිය බලපෑම් විශාල පරාසයකින් එල්ල කරන බවද ඉන්දීය නාවික හමුදාවේ අද්මිරාල් ආර්. හරි කුමාර් පෙන්වා දී ඇත.
‟චීනය දිගින් දිගටම ඉන්දියාවට විශාල අභියෝගයක් එල්ල කරන්නෙකු බවට පත්ව තිබෙනවා. එම තත්ත්වය මෑත කාලයේදි වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසාම මෙම අභියෝග භූමියේ මෙන්ම මුහුදු කලාප වලදීද වර්ධනය වී තිබෙනවා. ” යනුවෙන්ද ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය නාවික හමුදාපතිවරයාද පෙන්වා දී ඇත්තේ චීනයෙන් නූතන යුධ අභියෝගයක් එල්ල වන බවත්ය. එයට නවීන තාක්ෂණයද විශාල වශයෙන් යොදා ගැනීම සිදුකරන බවද හෙතෙම පෙන්වා දී ඇත.
චීනය මේවන විට සිය යුධ ශක්තිය සීඝ්‍රයෙන් වර්ධනය කරගැනීමට කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලොව විශාලතම නාවික හමුදාව තමන් සතු කරගැනීමටද ඔවුන් සමත්ව තිබේ.