ගෘහ විද්‍යුත් උපකරණ හා පරිගණක ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපාංග කොරියාවේ ඇති සමාගමේ මිලටම ලබා දෙන බව ප්‍රකාශ කර “ලාබෙට බඩු“ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනින් වංචාකළ 23 හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන් විසින් ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උදාර චාමික නැමැති හබරාදූව අගුලුගල පදිංචි තරුණයෙකි.
ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙක් බව විමර්ශන අංශ කියයි.
වෙළෙඳපලේ ඇති මිලට වඩා බෙහෙවින්ම අඩු මුදලකට මෙම ඩිජිටල් විද්‍යුත් උපාංග ගෙන්වා දෙන බවට සිය වෙබ් අඩවියට අදාල එෆ්බී ගිණුමේ දැන්වීම් පලකරමින් ඔහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
එල්.ඊ.ඩී රූපවාහිනී රුපියල් 7000 සිටත් ලැප්ටොප් පරිගණක රුපියල් 19000 සිටත් අලෙවි කරන බවට ඉතාම ආකර්ෂණීය දැන්වීමක් පලකරමින් ඔවුන් එය මුහුණු පොත හරහා ප්‍රචාරය කර ඇත්තේ ව්‍යාජ ගිනුම් භාවිතයෙන් බව විමර්ශන අංශ කියයි.
සිය ගැනුම් කරුවන් ඇනවුම් කරන භාණ්ඩවලට අදාල මුදල බැර කිරීම සඳහා ගිණුම් අංකයක් දක්වා මෙම සැකකරු මාස 06ක කාලයක් තිස්සේ මෙම වංචාව කරගෙන ගොස් ඇත. භාණ්ඩ ප්‍රමාදවන වීම ගැන විමසන විට ඔහු පවසා ඇත්තේ ඩොලර් අර්බුදය හේතුවෙන් භාණ්ඩ මාස තුනක් පමණ ප්‍රමාද වන බවත්, එතෙක් සිටිය නොහැකිනම් මුදල් යළි බැර කළ හැකි බවත් ඔහු විසින් දන්වා ඇත.
මේ තත්ත්වය තුළ බොහෝ ගැනුම්කරුවන් තවත් මාස ගණනක් භාණ්ඩ අපේක්ෂාවෙන් ගතකිරීමට එකඟ කරවා ගැනීමට අපරාධකරු සමත් වී තිබේ.
එහෙත් භාණ්ඩ නොලැබීම නිසා ඇතිවූ සැකය මත අඩු මිලට භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගැනුම් කරුවන් විසින් ඔහුගේ වංචාව පිළිබඳව කළ පැමිණිලි රට පුරා පොලිස් ස්ථාන සියයකට වැඩි ප්‍රමාණයකට ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාස 06ක් තුළ ඔහුගේ ගිනුමට රට පුරා පුද්ගලයින් තැන්පත් කර ඇති මුදල රුපියල් ලක්ෂ 56ක් බව ද විමර්ශන අංශ කියයි.
මෙම ගිණුම අකුරුස්සේ පදිංචිකාරියක් වන මෙම තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියකගේ මිය ගිය මවගේ බැංකු ගිණුම බවද විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.
එමෙන්ම දැන්වීමට අදාලව පල කර ඇති දුරකථන අංකය ද මියගිය පුද්ගලයෙකුගේ නමට ලබා ගත් එක්ක බව හෙළි වී තිබේ.
එම ගිනුමේ මුදල් ඔහු ඒටීඑම් කාර්ඩ්පතක් මගින් ලබාගෙන තිබේ. විටින් විට විවිධ පුද්ගලයින් යොමු කරමින්ද ඔහු මුදල් ලබාගෙන ඇත.
මේ ජාවාරම සඳහා සැකකරු සමග මත්කුඩු භාවිතා කරන පුද්ගලයින් 12 දෙනෙකු ආසන්න කණ්ඩායමක් සම්බන්ධවී ඇතැයි දැනට හෙළි කරගෙන තිබේ.
ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාලගාර නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.