ශ්‍රියානි විජේසිංහ –
ජනතාව බලාපොරොත්තුවන වෙනස්කම් සමඟින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණයන් ගන්නා බව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වැඩ භාරගනිමින් වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.
වත්මන් සෞඛ්‍ය සේවාව පිලිබදව සමාජයේ විශාල කතිකාවක් ගොඩනැගී ඇත මොහොතක බවත් වෘත්තිකයන් මෙන්ම සමාජයම වෙනස්කම් කීපයක් අවශ්‍ය බවත් එසේම පුද්ගල වෙනස්කම් කීපයක්ම කිරිමට තමා බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා මෙහිදි අවධාරණය කළේය.
මෙම තීන්දු තීරණයන ගැනීමේදී තමා පුද්ගල තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොසලකන බවත් එය සෞඛ්‍ය සේවාවේ උන්නතිය, යහපැත්ම, මතුපරපුර සහ රට වෙනුවෙන් ගන්නා තීරණයක් යැයි ඇමතිවරයා මෙහිදී පැවසුවේය.
මාධ්‍ය අමතමින් නව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ පැවසුවේ පසුගිය වර්ෂයේ සිදු වූ ආර්ථික ගැටලු සමඟ බුද්ධිගලනයක් සිදු වූ අතර එවැනි අර්බුද ඇති වූ බොහෝ රටවල ප්‍රථමයෙන්ම බලපෑමට ලක්ව තිබෙනුයේ සෞඛ්‍ය ක්ෂේත්රය බවය.
වෛද්‍යවරුන් මෙරට රඳවා තබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට රජය සමඟ එක්ව කටයුතු කරන බව ද ඇමතිවරයා පොරොන්දු විය. උගතුන්, බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් රට තුළ සිටින බවත් ලෝකයේ විශාල ඉල්ලුමක් මෙම උගත් බුද්ධිමත් පිරිසට තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
මෙම උගත් බුද්ධිමත් සියලුදෙනාගෙන් බහුතරයක් මෙරට පරිසරය තුළ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ ජීවත් වීමට කැමති බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට කැපවීමෙන් යුතුව උපරිමයෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.
ඇමතිවරයා කීවේ තිබෙන මූල්‍ය පරාසය තුළ ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඔවුන්ට මෙරට ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවය.









