දිනසේන රතුගමගේ
පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වූවත් පළාත් සභාවලට බලතල නොමැතිකමට යම් පිළියමක් යෙදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂවලට එකග වූ බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මන්ත්‍රීවරයා 16 දා යාපනයේදී පැවසීය.
යාපනයේදී මාධ්‍යවේදීන් අමතා විග්නේස්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති වූවත් පළාත් සභා රට තුළ ක්‍රියාත්ම විය යුතු බව ජනාධිපතිවරයා තම පක්ෂවලට ප්‍රකාශ කළ බවයි.
ඒ නිසා පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර එම ආයතනයන්ට ඇති බලතල වෙනස් කිරීමට හා වැඩි බලයක් ලැබෙන ආකාරයට යම් සංශෝධනයක් සිදු කළ යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයා විසින් රැගෙන ඒමට යෝජනා කළ බවද විග්නේස්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ යම් තීරණයකට එළඹීමෙන් පසුව ඒ ගැන ක්‍රියා කිරීමට හැකියාව ඇති බව තම පක්ෂවලට පෙන්වා දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයක සිටින මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ඇතිව උපදේශක සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බවද සඳහන් කළේ යැයි විග්නේස්වරන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.







