ඡන්දයෙන් පැරදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ඡන්දයක් නොපැවැත්වෙන බව කීම සම්බන්ධව කලබල නොවෙන ලෙසත්, ඡන්දයක් සම්බන්ධව විශ්වාසයක් ඔහුට නොමැති වීම අප පිළිගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
එහෙත් මැතිවරණයකින් පත් වී ඡන්ද හැට නව ලක්ෂයක් ලබාගෙන ජනාධිපති වූ ජනාධිපතිවරයාත්, මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 68ක් ලබාගෙන අගමැති වූ අගමැතිවරයාත්, එම දැවැන්ත දේශපාලන ව්‍යාපාරය මෙහෙයවූ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාත් තනතුරුවලින් පහ වී අවලංගු වූයේ ජනතා බලය නිසා බව අමතක නොකරන්නැයි ද විපක්ෂ නායකවරයා ජනාධීපතිවරයාට පැවසුවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසුවේය.
“එතුමා මේ සභාවට කිව්වා මැතිවරණයක් පවත්වන්නෙ නෑ කියලා. එතුමා කළ ප්‍රකාශය සම්බන්ධව පුදුම වෙන්න දෙයක් නෑ.
එතුමා මේ තනතුරුට පත්වුනේ ඡන්දයෙන් පත් නොවුන තනි ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට. පාර්ලිමේන්තුවට ඇවිත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වෙලා පාර්ලිමේන්තුවේ බහුතරයේ ඡන්දයෙන් ජනාධිපති වුනා. එතුමාට සර්ව ජන ඡන්ද බලය ගැන වැඩි විශ්වාසයක් නෑ.
ඒ වගේම ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳ එතුමට විශ්වාසයක් නෑ. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නෑ මැතිවරණයක් පවත්වන්නෙ නෑ කියන කතාවට. මන්ද මැතිවරණයකින් පත්වෙලා ඡන්ද 69 ලක්ෂයක් අරන් ජනාධිපති වෙලා, ඉන් පසු මහ මැතිවරණයෙන් ඡන්ද 68 ලක්ෂයක් ලබාගෙන අගමැති වෙලා, ඒ වගේම දේශපාල ව්‍යාපාරයක නියමුවෙක් වෙලා රටේ මුදල් ඇමති වෙලා … ඒ තුන්දෙනාටම ගෙරද යන්න වුනේ මැතිවරණ පරාජයක් නිසා නෙමෙයි. රටේ ජන බලය නිසා.“
“මම දැක්කා මැතිවරණයක් පවත්වන්නෙ නෑ කියනකොට මේ සභාගර්භයෙ ඉන්න වහල්ලු කොට්ඨාසයක් ඒකටත් අත්පුඩි ගැහුවා. මොන මහජන නියෝජිතයො ද මැතිවරණයක් තියන්නෙ නෑ කිව්වම අත්පුඩි ගහන්නෙ. මේ මිනිස්සු එක වහල් භාවයකින් තවත් වහල් භාවයකට ඇදිලා.“
“මැතිවරණයක් නැතිව සුවපහසු කලාපයක ඉන්න හැමෝටම කියන්නෙ… ඔහොම ඉන්න. කිසි ගැටලුවක් නෑ… අපිටත් ගැටලුවක් නෑ… මතක තබා ගන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට, බැසිල් රාජපක්ෂ මැතිතුමාට, තමන්ගේ තනතුරුවලින් ඉවත් වෙන්න සිදුවුනා. බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී කමිනුත් යන්න සිද්ධ වුනා. ඒ වගේ තත්ත්වයක් ඇතිවුනේ ජනතාවට ඇහුම්කන් නුදුන් නිසා. ජන මතයට ගරු නොකළ නිසා. “
“ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා කියන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා… ඊයේ පල කරපු මතය වෙනස් කරලා මේ පාර්ලිමේන්තුවෙ සහ මහ පොළොවේ විකෘතිය නැති කරලා විනිවිද භාවයකින් යුතුව නව ජන මතයක් හරහා මේ රට ගොඩ ගනිමු කියලා. “