මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල රුපියල් හතළිස් ලක්ෂයකට ආසන්නන මුදලක් ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට තිබෙන බවත්, මාසිකව රුපියල් ලක්ෂ පහකට ආසන්න විදුලි බිලක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන නිසා, සම්පූර්ණ විදුලි බිල ගෙවීමට මැදිහත්වන ලෙසත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඊයේ (06) සවස යෝජනා කළහ.
උන්වහන්සේ එසේ යෝජනා කළේ නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක් ඊයේ සවස දිඹුලාගල නා හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ය. ඡන්දය ඉලක්ක කරගෙන ගොඩ නැගූ “සද් ජන රළ ” රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම ඊයේ (06) උදෑසන පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී පැවැත්වීමෙන් අනතුරුව නාමල් ඇතුළු කණ්ඩායම දිඹුලාගලට ගොස් තිබිණි.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීමේ වගකීමක් රජයට ඇති බවත් තමන් වහන්සේ මෙම පුදබිම භාරගත්තායින් පසු විශාල වැඩපිළිවෙළක් සැලසුම් කර එය සාර්ථක කරගැනීමට ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කළද ඊට මෙතෙක් පිළිතුරක් නොලැබීම පිළිබඳ කණගාටුවන බවත් උන්වහන්සේ නාමල් රාජපක්ෂට කීහ.
උන්වහන්සේ පැවසුවේ ශ්‍රී ලංකාව පුරා විහිදුණු දායකකාරකාදීන් තුන්සිය හැටපස්දෙනකුට තම ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා දානමාන නැමීම හැරෙන්නට වෙනත් පූජාවක් මෙන්ම පරිත්‍යාගයක් ආරණ්‍ය සේනාසනයට නොමැති බව නා හිමියෝ පැමිණි මැති ඇමති පිරිසට පහදා දුන්හ.
මෙහිදී නාමල් රාජපක්ෂ සඳහන් කළේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ලැබෙන විදුලි බිල සඳහා යම් සහනයක් සැකසීමට තමා මැදිහත් වන බවය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල අවම කිරීම සඳහා සූර්ය විදුලි බල පද්ධතියක් සැකසීමට වැඩපිළිවෙළක් සකසන ලෙස මෙම අවස්ථාවට පැමිණ සිටි විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් සංවිධායක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, තිස්ස කුට්ටිආරච්චි, චින්තක මායාදුන්නේ, තේනුක විදානගමගේ, ජගත් සමරවීක්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.







