මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීමෙන් අවසාන මොහොතේ මැතිවරණය කල් දැමීමේ සැලසුම මේ වනවිට ක්‍රියාත්මකවී ඇති බව විශ්වාසකටයුතු අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට උපදෙස් ලබාදුන් බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පසුගිය 31 දා ජනමාධ්‍ය නිවේදනයක් කර තිබේ.
ඊට අදාළව ජනාධිපති කාර්යාලයද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇතැයි ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවය.
මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය එම නිවේදනයෙන් දන්වා ඇත.
එමෙන්ම මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය මුදල් නිදහස් කිරීම සීමා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්ද නිකුත් කර අවධාරණය කර තිබුණේ, මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා, බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් රාජ්‍ය වියදම් දැඩි කොන්දේසි යටතේ සීමා කරන බවය.
ඒ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අංක 01/2023 සහ අංක 09/2022 යන අය-වැය චක්‍රලේඛ මඟින් ප්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කරන බව ද මහා භාණ්ඩාකර ලේකම්වරයා එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.
මෙම කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු අතර, එවැනි නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකවම ඒ සඳහා වගකිව යුතු බවද අදාළ චක්‍රලේඛයේ දක්වා තිබේ.ෙ
මෙම මැතිවරණයට අවශ්‍ය සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර, සිය මුලික වියදම් ලෙස ඉන් රුපියල් මිලියන 770ක මුදලක් කොමිසම මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් එම මුදල් මෙතෙක් නිසි ආකාරයෙන් නිකුත් කර නොමැති පසුබිමක මැතිවරණ කොමිසමට කළ හැක්කේ විසර්ජන පනතින් තමන්ට ලැබුණු මුදල් තමන් වෙත ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධව බීබීසී සේවය වෙත අදහස් දක්වමින් මංජුල ගජනායක පවසන්නේ බොහෝවිට පාර්ලිමේන්තුවේ දී මෙම ඉල්ලීම පරාජය වීමේ හැකියාවක් ඇති බවය.
“පාර්ලිමේන්තුවත් බලාගෙන ඉන්නේ මෙවැනි යෝජනාවක් එනකම්. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනා සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් බහුතරය රැස්කරගෙන ඉන්නේ. එතැනදී, මේකට බෙදීමක් අවශ්‍යයි කියල පක්ෂ නායකයෝ තීරණය කළොත්, එතැනදී මුදල් නිකුත් නොකර ඉන්න යම් තීරණයක් ගන්න පුළුවන්.” ඔහු පෙන්වා දෙන්නේය.