පසුගිය අයවැයට අනුව රජයේ දෛනික ආදායම රුපියල් බිලියන 05ක් බවත්, මාස අටක් තිස්සේ ක්‍රියාත්මකවන මැතිවරණය ක්‍රියාවලිය වෙනුවෙන් ඒ මාස 08 තුළ විටින් විට වියදම් කිරීම සඳහා ඉල්ලන්නේ රටේ දවස් දෙකක ආදායම පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
.” පාර්ලිමේන්තුවට තමයි රටේ මුදල් බලතල තියෙන්නේ. පාර්ලිමේන්තුව අයවැය මගින් රුපියල් බිලියන දහයක මුදලක් මැතිවරණයට වෙන්කරලා තිබුණා. බිලියන 10ක් කියන්නෙ රටේ දවස් දෙකක ආදායම. “
“මේ දවස් දෙකක ආදායම අපි වියදම් කරන්නේ මාස හතක අටක වගේ කාලයක් ඇතුළත විටින් විට. මේක අනෙක් සහනාධාර බෙදීම වගේ එකවර කෙරෙන ලබාදීමක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන විදිහට වරින්වර තමයි මුදල් ඉල්ලන්නේ. ඒ මුදල් ලබාදෙන එක මහා භාණ්ඩාගාරයේ වගකීමක්.”
“අනෙක් කාරණය තමයි මේක පළාත් පාලන ආයතන වෙනුවෙන් වසර හතරකට කෙරෙන ආයෝජනයක්. ඒ අනුව එක ඡන්දදායකයෙක් වෙනුවෙන් වැයකරන්න වෙන්නේ රුපියල් හයසීයක වගේ මුදලක්. ඒ නිසා වගකිවයුතු රජයකට කළයුතුව තියෙන්නේ මේ ජනතා අයිතිය තහවුරු කිරීම.” මැතිවරණ කොමසාරිස්වරයා බීබීසිය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
කොමසාරිස්වරයා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ සඳහන් ජනතා පරමාධිපත්‍යය භාවිතා වෙන්නේ මැතිවරණවලදී බවය.
රටේ ජනතාවගේ අත්‍යවශ්‍යම ඡන්ද අයිතිය ක්‍රියාත්මක කරවීම සඳහා වගකිවයුතු අංශ කරහැරිය නොහැකි වගකීමකින් බැඳී සිටින බවත් ඔහු පෙන්වා දෙන්නේය.
මෙම මැතිවරණයට අවශ්‍ය සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර, සිය මුලික වියදම් ලෙස රුපියල් මිලියන 770ක මුදලක් කොමිසම මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් එම මුදල් මෙතෙක් නිසි ආකාරයෙන් නිකුත් කර නොමැත.
එමනිසා මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මැතිවරණයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හා අනෙකුත් පහසුකම් සපයාදීමට අදාළ පාර්ශ්වයන්ට නියෝග කරන්නැයි දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබේ.