නීශානි අත්තනායක –
සෙසු ලෝකයේ ඇස් වසා චීනය සඳෙහි ඈත කොටසකට රහසිගත රොබෝ රෝවරයක් යවා ඇති බවට දැඩි සැකයක් දැන් පැතිර යමින් පවතී. ඉකුත් සතියේ සඳ වෙත ගිය චීනයේ 6 වැනි චන්ද්‍ර මෙහෙයුම් යානය වන Chang’e 6 මගින් ලද නවතම ඡායාරූප මේ සැකය තහවුරු කරන කරුනු හෙළි කර තිබෙනවා.
නව ඡායාරූපවල චීනයේ Chang’e 6 චන්ද්‍ර ලෑන්ඩරයේ පැත්තකට සවි කර ඇති බව පෙනෙන , කලින් හෙළි නොකළ, කුඩා රහසිගත සඳ රෝවරයක් දැකගත හැකි ව තිබෙනවා.
ඉකුත් සතියේ සිකුරාදා එනම් මැයි 03 වන දා චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය (CAST) ස්වයංක්‍රීය Long March 5 නම් රොකට්ටුවක් මගින් Chang’e 6 සාර්ථකව අභ්‍යවකාශයට යැවූ අතර එය සඳෙහි සැඟවී ඇති දුර කොටසේ සිට සාම්පල එකතු කර පෘථිවියට ගෙන යාමේ පළමු මෙහෙයුමයි. ඒ අනුව චන්ද්‍රයා වෙත යැවූ රොකට්ටුව රැගෙන ගිය Chang’e 6 ලෑන්ඩරය ජුනි මස මුලදී සඳ මතට ගොඩ බස්වා සඳ මතුපිටින් සාම්පල එකතු කර ආපසු එන මොඩියුලයකින් ඒවා නැවත පෘථිවියට ලබා දීමට නියමිතයි. ඒ අනුව එය 2020 දි සිදුකළ Chang’e 5 මෙහෙයුමට බොහෝ දුරට සමාන වන බව ද සඳහන්.
මීට අමතරව ප්‍රංශය, ස්වීඩනය, ඉතාලිය සහ පකිස්ථානය යන රටවල සිට සඳ වෙත අනාවරණය නොකළ භාණ්ඩ තොග කිහිපයක් රැගෙන යන බව හැරුණු විට, Chang’e 6 මෙහෙයුම ගැන වැඩි විස්තරයක් සෙසු ලෝකය දැන සිටියේ නැත.
කෙසේ වෙතත්, සාර්ථක වු Chang’e-6 මෙහෙයුමෙන් පසුව, CAST විසින් සඳ ලෑන්ඩරය ගොඩබෑමේ නව ඡායාරූප නිකුත් කරන ලද අතර, මේ පිළිබඳව උනන්දුවෙන් සිටි නිරීක්ෂකයන් ඉක්මනින්ම ලෑන්ඩරයේ එක් පසෙකට වන්නට රෝද පවතින පරිදි බැඳ ඇති කුඩා අළු පැහැති වස්තුවක් දුටු බව සඳහන් වනවා.
“ඔව්, හරි. ඒක Chang’e-6 ලෑන්ඩරයේ පැත්තකට බැඳ ඇති කලින් හෙළි නොකළ කුඩා රෝවර් එකක් වගේ”, යැයි ඒ සම්බන්ධව නිරීක්ෂණය කළ මාධ්‍යවෙදියෙකු සමාජ මාධ්‍ය හි X වෙත සටහනක් දමා තිබුණා. දැන් මේ රෝවරය කුමක්ද? එහි රාජකාරිය කුමක්ද? යන්න පිළිබඳව කුතුහලය විද්‍යාත්මක ලෝකයම කලඹවා හමාර ය. මේ අතර චීනය සහ රුසියාව එක්ව මිනිසුන් යොදා ගන්නේ නැතිවම 2035 වන විට සඳ මත න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් පිහිටුවීමේ යෝජනාවක් ගැන පුවතක් ද වාර්තා වීමත් සමග දැන් ලෝකය පුරා මේ කුතුහලය සහ සැකය දෙගුණ තෙගුණ වී පැතිර යමින් පවතිනවා.