නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙළ අනුව, කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වාදීම සඳහා සහාය වීමට පෘතුගාල සමාගමක් ආයෝජකයකු ලෙස ඉදිරිපත්ව සිටින බවත් එය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.
ඊට අදාල ව ගොවිපල අස්වැන්න මෙන්ම ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩි දියුණු කළ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම අරමුණු කොට ගෙන, මෙරට කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අද (07) ජනාධිපති කාර්යාලයේ දී අත්සන් තබා ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ පෘතුගාලයේ Nativa Capital සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් යන අය අත්සන් තැබූහ.
අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන ඇත්තේ දේශගුණික අවදානම් සංසදයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළින් බව ද සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දේශගුණික
විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පැවසූයේ තිරසර කෘෂිකර්මාන්තයක් මඟින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මේ වැඩ පිළිවෙල සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15,000ක් හා අක්කර 15,000ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බවත් ඉන් පවුල් 15ක් සහ අක්කර පහළොවක් නියමු ව්‍යාපෘතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබේ. එක් පවුලක් සඳහා එක්සත් ජනපද ඩොලර් 6000ක පමණ පිරිවැයක් දැරීමට ආයෝජන සමාගම එකඟතාව පළ කර ඇති අතර මේ ගිවිසුම අනුව ඉදිරි වසර 25ක් සඳහා කෘෂිකර්මාන්තයට තාක්ෂණික සහාය ලබාදීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන්.
කෘෂිකාර්මාන්තයට අදාළ නවීන තාක්ෂණික උපකරණ ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවන අතර ගොවි ජනතාවට අත්‍යවශ්‍ය ව තිබූ තම නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙළෙඳ පොළක් නිර්මාණය කර දීමට ද මේ හරහා හැකි වනු ඇති. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන භාණ්ඩ මිලදී ගැනීමට ආයෝජන සමාගම එකඟතාව පළකර තිබෙන බව ද සඳහන් වේ.
මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථකවීමෙන් අනතුරුව අනෙකුත් දිස්ත්‍රික්වලට ද නවීන තාක්ෂණය හඳුන්වාදීමට රජය බලාපොරොත්තු වන බව සඳහන් ය.
දේශගුණික අවදානම් සංසදයේ මහ ලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජෙනරාල් සන්දිප් සමරසිංහ, නීතිඥ කස්තුරි අනුරාධනායක ඇතුළු පිරිසක් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.