ඉහළ වැටුප් සහිතව පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා රැගෙන යන මුවාවෙන් මෙරට තරුණ තරුණියන් නීති විරෝධි ලෙස මියන්මාරයට රැගෙන ගොස් වහල් සේවයේ යොදවන නින්දිත ජාවාරම තවමත් ක්‍රියාත්මක බවත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් මේ වනවිටත් එහි ගොදුරු වෙමින් ඇති බවත් මියන්මාරයෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම කඳවුරේ නීති විරෝධී පරිගණක වහල් සේවයේ යොදවා ඇති තරුණියක විසින් හඬපටයක් නිකුත් කරමින් ලංකාවේ බලධාරීන්ට දන්වා ඇත්තේ ඊයේ (22) දිනයේ දී ත් ලංකාවේ තරුණයෙක් මෙම කඳවුර වෙත රැගෙන ආ බවය. ඔහු ලංකාවේ සිට ඍජුවම යොන්ගුන් නගරය වෙත ගෙන්වා ඇත්තේ ඩුබායිහි සිටින ඒජන්තයෙක් බව ද එම හඬ පටයෙන් අනාවරණය වේ.
එම තරුණයාගෙන් අනාවරණය කරගත් පරිදි ඉදිරියේ දී තවත් තරුණියන් දෙදෙනෙක් සහ තරුණියක් මෙම වහල් කලාපයට රැගෙන ඒමට නියමිත බවත් ඉදිරි දින කීපය තුළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 15 දෙනෙක් මෙම ස්ථානයට රැගෙන එනු ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හඬ පටයේ කතා කරන තරුණිය හෙළි කරයි.
“ අපි දන්නේ නෑ මේක වෙන්නො කොහොම ද කියලා. අපි මේ ගැන එම්බසියට දැනුම් දුන්නා. ඉමිග්‍රේෂන් එකට දැනුම් දුන්නා. ජනාධිපතිවරයා දක්වා සියලු දෙනාම දැනුම්වත් කළා. එහෙම තියෙද්දි ලංකාවේ ඉඳන් කෙළින්ම මෙහාට කට්ටිය ගෙන්වන ජාවාරම තවමත් ක්‍රියාත්මක වෙනවා.” ඇය කියන්නී ජාවාරමේ ගොදුරු බිම තවමත් ලංකාව බවය.
ලැබී ඇති තොරතුරු අනුව මේ වනවිට මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ සයිබර් වහල් කඳවුරුවල ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙක් රඳවා ගෙන ඇත. මේ ජාවාරම ක්‍රියාත්මක වෙමින් ඇත්තේ සංක්‍රමණිකයන් සඳහාවන ජාත්‍යාන්තර මාධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිය දී වීම විශේෂත්වයකි.
මේ ගැන වහාම සොයා බලන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.