තවත් තරගාවලි පරාජයක් අත් කර දෙමින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක් දින තරගාවලිය චිතගොංහිදී ඊයේ නිමාවට පත් විය.
ඊට පෙර පැවති විස්සයි විස්ස තරගාවලිය අපේ අය තරග 2-1’ක් ලෙස ජය ගත්තද එය පහසුවෙන් ලැබූවක් නොවීය.
අපි ඊට කලින් දිනුවේ සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානය සමගය. එයද ලංකාවේය. මේ දෙපිලම ශ්‍රේණි ගත කිරීම් වල සිටින්නේ අපට පහළිනි.
බංග්ලාදේශයත් එසේමය.
අපි සිම්බාවේටත් ඇෆ්ගනිස්තානටත් ගහන විට අපේ ක්‍රීඩා ඇමතිවරයා දැන් අපේ ක්‍රිකට් හරි යයි රටේ ජනතාවට පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත්තේය.
ක්‍රිකට් ගොඩ ගන්න සනත් ජයසූරිය උපදේශකයකු කිරීමෙන් ඔක්කොම හරි යාවි යන ගොබ්බ මතයක සිටින ක්‍රීඩා ඇමතිවරයා තව දුරටත් ක්‍රිකට් බිස්නස් කාරයකු නොවී ක්‍රිකට් ගොඩ දැමීමට අවංක චේතනාවක් ඇත්නම් ජනතාව ඇන්දවීම වහා නැවැත්විය යුතුය.
මේ වනවිට හරින් ප්‍රනාන්දු කරන්නේ ෆ්‍රැන්චයිස් බිස්නස් එකකි. එයට ඔහුගේ ගජ මිතුරු සමාගමේ සියලු දෙනා එකට එක්ව සිටිති.
මෙම ගජ මිතුරු සමාගම තුළ ක්‍රීඩක කළමනාකරුවන්, බිස්නස් මාධ්‍යවේදීන්, හිටපු ක්‍රීඩකයන් ඇතුළු එකී නොකී පිරිසක් වෙති.
මේ නඩයෙන් සමහරු ක්‍රිකට් උපදේශකයන් බවටත් තේරීම් කමිටු නිලධාරීන් ලෙසත් පත් කර තිබේ.
ක්‍රිකට් හදන්නේ මොවුන් නම් අපේ ක්‍රිකට් වලට දෙවියන්ගේම පිහිටය.
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කළු ගලේ ඔළුව හප්පාගෙන ඇමති කමත් නැති කර ගනිද්දී හරින් ප්‍රනාන්දු ෂම්මි සිල්වාගේ කර වටා අත දමා ගනිමින් හීන් සැරේ තමන්ට අවශ්‍ය දේ කරගනිමින් සිටී.
එක දවසෙන් ප්රාතිහාර්ය සිදු කරන්නට ආ සනත් ජයසූරිය මසකට රුපියල් පනස් ලක්ෂයක වැටුපක් හා හිතෙන හිතෙන විට සංචාර වලට එක් වී කරපු දේ කුමක්දැයි අසන්නට වත් කවුරුන් හෝ නොමැත.
ඔහු 19 පහළ ලෝක ශූරතාවට ගියත් අපේ කණ්ඩායමට එහි හිමි වූයේ අටවැනි ස්ථානයයි.
බංග්ලාදේශයට ගියද සිදු වූ දේ කවුරුත් දනිති.
මහේල ජයවර්ධනද තවමත් උපදේශකයකු ලෙස කටයුතු කරයි.
කණ්ඩායමේ විනය දිනෙන් දින කඩා වැටෙද්දී කළමනාකරු හලංගොඩ තවමත් එතැනමය.
දග පන්දු යවන්නන් නැති කළ පුහුණුකරු පියල් විජේතුංග තවත් එතැනමය.
සිල්වර්වුඩ් තවමත් එතැනමය.
හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ඉවත් කොට කැඳවූ උපුල් චන්දන නිසා පන්දු රැකීම නම් ගොඩ ගිහින් ය.
සුද්දකු ඉවත් කර අපේම අයෙක් ට්‍රේනර් කළත් වේග පන්දු යවන්නන්ගේ ආබාධ ඉස්සරටත් වැඩිය.
අලුත් තේරීම් කමිටුව අලුත් යමක් කරාවි යැයි සිතුවත් ඔවුන් යන්නේද පරණ පාරේමය.
ඔවුන් සමග එකට ක්‍රීඩා කළ හිත මිතුරු ක්‍රීඩකයන් ,එකට පාටි දමන ක්‍රීඩක කළමනාකරුවන් ගේ ක්‍රීඩකයන් මිස ඔවුන් අලුතින් හඳුනාගෙන ගෙනා ක්‍රීඩකයකු නොමැත.
අවිශ්ක ප්‍රනාන්දු අසාර්ථක වද්දීත් දිගටම ගස්සන්නේත්, බංග්ලාදේශය තරුණ ක්‍රීඩකයකු අංශ තුනේම නායකයා කරද්දී අපේ අංශ තුනටම නායකත්වයේ නුසුදුස්සන් පත් කරන්නේත් මේ නිසාවෙනි.
නමට සංචාර වලට රැගෙන යන චාමික කරුණාරත්න මැච් නොගස්සන්නේ නායකයාට අරුචි නිසාය. නායකයා යනු ඒ සඳහා අමුම අමු නුසුදුස්සෙක් බව රටම දනිතත් උපුල්ලා ඒ බව නොදන්නවා නොවිය යුතුය.
අපේ තේරීම් කමිටු සභාපතිවරයා තවමත් ෆික්සින් ලීග වල ක්‍රීඩා කරයි. ඒ අතර තමන්ට තරග පාවා දෙන මෙන් ඉල්ලූ බවට පැමිණිලිද කරයි.
අපේ ක්‍රිකට් වල හැමතැනම විහිළුය.
බංග්ලාදේශ පරාජයට හේතු සොයනවා නම් ඒ සඳහා හේතු ඇති තරම් නියුට්‍රල් අම්පයර්ට පෙන්වා දිය හැකිය.
ඒත් කෝටි ගණන් වියදම් කරමින් පුහුණුකරුවන් උපදේශකයන් සිටියදී ඒ ගැන කතා කොට ඵලක් නොමැත.
අපිට හොඳ දෙවෙනි පෙළක් දැන් හැදෙමින් පවතී.
අවශ්‍ය වන්නේ ඒ ඒ තැන් වලට සුදුස්සන් සුදුසු වෙලාවේ එක් කිරීමය.
කන්සිස්ටන්සියක් නොමැති ඉඳ හිට යමක් කර පෙන්වන එයද තරගයක් ජය ගැනීමේ මට්ටමක නොව ජාම බේරා ගැනීමකට පමණක් නොවන ක්‍රීඩකයන් කී දෙනෙක් අපේ කණ්ඩායමේ සිටීද?
ජනිත් ලියනගේලා වැන්නන් දේශීය පිටියේ තවත් සිටී.
උපුල් තරංගලා , තරංග පරණවිතානලා, ඉන්දික සේරම්ලා, ඩිල්රුවන් පෙරේරලා, අජන්ත මෙන්ඩිස්ලා කළ යුත්තේ තම මිතුරන් පිනවීම නොව තවත් ජනිත් ලියනගේලා වැන්නන් සොයා ඉදිරියට ගෙන ඒමයි.
එසේ නොමැති නම් දසුන් ශානකලා හැරමිටියෙන් යන තුරු දේශපාලන හයියෙන් කණ්ඩායමේ රැඳී සිටිනු ඇත.








