2022 මැයි 9 වන දින ගාලු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරමින් නීතිපතිවරයා නිකුත් කළ ලිපිය අවලංගු කිරීමට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේය.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සමක් අනුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
වගඋත්තරකරුවන්ට අදාළ ශීර්ෂ පාඨය අවශ්‍ය පරිදි සංශෝධනය කර නොමැති බවට තර්ක කරමින් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් මතු කරන ලද මූලික විරෝධතාවක් ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316, 343 සහ 300 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබුණි.







