වී මිලදී ගැනීමේ දී ඉතිහාසයේ පළමු වරට වී මිලදී ගැනීම සඳහා රුපියල්ල 50ක පාලන මිලක් දමා වී මිලදී ගැනීමට සැලැස්වීමෙන් පසු සහල් සඳහා වූ මිල පාලනය ඉවත් කිරීමේ පූර්ණ වාසිය හිමි කරගත්තේ මෝල් හිමියන් බවත්, අද මෝල් හිමියන් හාල් කිලෝව රුපියල් 115 සිට 160 දක්වා මිලක් නියම කරන්නේ තමන් රුපියල් 50ට 52ට මිලදී ගත් වී වලින් හදන සහල් සඳහා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කීවේය.
මාධ්‍යවල ප්‍රබන්ධයක් වූ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ නොහැකියාව හොඳටම තේරුම්ගත හැක්කේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මේ පිරිස හැසිරෙන ආකාරයෙන් බවත් අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය.
අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
මේ ආණ්ඩුව සහල් මිල පාලනය කරන්න විද්‍යාත්මක නොවන, තාර්කික නොවන විසඳුම් ඉදිරිපත් කළා. එකක් තමයි නැවත නැවතත් ගැසට් නිකුත් කිරීම. මෙයට සති දෙකකට පමණ පෙර මම මාධ්‍ය හමුවකදී සහල් මිල සම්බන්ධ ගැසට් නිවේදනය හකුළා ගන්නා බවට අනාවැකියක් පළ කළා.
හාල් සංදර්ශන
හාල් මිල පාලනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කඩවල්වලට ගිහිල්ලා මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කළා. බැසිල් රාජපක්‍ෂ මහත්තයා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හැටියට ජනාධිපතිවරයාත් සමගම මෝල් හිමියන් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනරාල්වරයෙක් ඩේටා බේස් එක අපි ළඟ තිබෙන බව කීවා. බැසිල් රාජපක්‍ෂ කීවේ පාලන මිලට විකුණන්නේ නැත්නම් මෝල් පවරා ගන්නා බවයි. ඊට පස්සේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළා. විශේෂ කාර්ය සාධක බළකාය එස්.ටී.එෆ්. එක පිරිවරාගෙන ගිහින් හාල් මෝල් වටළලා සංදර්ශන පෙන්නුවා.
ජනාධිපතිවරයා මේ මාධ්‍ය සංදර්ශනවලින් මෝහනයට පත්වෙලා ඉන්නේ. ඔහු බලයට එන්නෙත් මාධ්‍ය සංදර්ශන හරහායි. දැන් පැහැදිලි වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ යනු හිස්, මාධ්‍ය ප්‍රබන්ධයක් බවයි.
වී වලට පාලන මිලක් දමා සහල් පාලන මිල ඉවත් කිරීම
මීට මාස දෙකකට පමණ පෙර කෘෂිකර්ම ඇමතිවරයා සහ මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පවත්වා වී මිලදී ගැනීමේ මිල අමාත්‍යාංශයේ බලකිරීම පරිදි මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත්කළා. ලංකාවේ පළමුවැනි වතාවට වීවලට පාලන මිලක් දැම්මා. ඒ දක්වා තිබුණේ සහතික මිලක්. එයින් කියවෙන්නේ ඒ මිලට වඩා වැඩියෙන් කිරන්න පුළුවන් බව. නමුත් රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න බැහැ කියලා පාලන මිලක් දැම්මා. ගොවි ජනතාව විශාල වශයෙන් අසරණ වුණා. සිංහල අවුරුද්දට කලින් මාස් කන්නයේ අස්වැන්න ලැබෙන කාලයේ රුපියල් 50ට වඩා වැඩියෙන් වී මිලට ගන්න දෙන්නේ නැහැ කිව්වා.
ගොවියෝ අස්වැන්න නෙළලා ගෙදර ගේන්න අක්කර දෙක හමාරකට රුපියල් 40,000ක්වත් වැය වෙනවා. නමුත් ඔවුන්ට දෙන්න වුණේ තුට්ටු දෙකට. කෘෂිකර්ම ඇමතිවරයා ගොවියාගේ පැත්ත වෙනුවට මෝල් හිමියන්ගේ පැත්ත නියෝජනය කරමින් රු. 50ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කීවා.
දැන් මේ වෙනකොට ගොවිජනතාව ළඟ තිබෙන්නේ වී කුඩා ප්‍රමාණයක්. වැඩිම වී පංගුව තිබෙන්නේ වී මිලදී ගන්නන් ළඟ. දැන් නාඩු රු. 50ට, සම්බා රු 52ට, උපරිම වශයෙන් මිලදී ගෙන ඩඩ්ලි සිරිසේන සහල් මිල තීරණය කළා. මහා පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් තියලා නාඩු රු. 115ට, සම්බා140ට, කීරි සම්බා 165ට මිල නියම කළා. හැබැයි මේ මිලට විකුණන්නේ රු. 50ට ගත්ත වී තොගයි. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගන්න තිබුණු ඉඩකඩ ආණ්ඩුවෙන් ඇහිරුවා.
ඒ අතරේ පාරිභෝගික ජනතාවට අඩු මිලට හාල් ලැබුණෙත් නැහැ. ආණ්ඩුව නියෝජනය කළේ ගොවි ජනතාවගේ පැත්තවත් දෙකෝටියකට අධික බත් කන ජනතාවගේ පැත්තවත් නොවෙයි. මේ ආණ්ඩුව හැමදාම නියෝජනය කරන්නේ මාෆියාකාරයන්වයි.
සහල් මිල පාලනය කළ හැක්කේ කෙසේ ද
අනෙක් පැත්තෙන් මාධ්‍ය සංදර්ශනවලින් රටක් පාලනය කරන්න බැරි බව ඔප්පු කර තිබෙනවා. සැබැවින්ම සහල් මිල පාලනය කළ හැක්කේ කොහොමද?. අපේ රටේ ජනතාවගේ ප්‍රධානතම ආහාරය සම්බන්ධයෙන් වී මිලදී ගැනීමේ සහ සහල් වෙළඳපොළේ ඒකාධිකාරිය බිඳින්න ඕනෑ. ඉතා කුඩා කණ්ඩායමක් වී මිලදි ගැනීම සහ සහල් තොග වෙළඳාමේ යෙදීම නිසා සියල්ල තීරණය කිරීමේ බලය ඔවුන් වෙත තිබෙනවා. ආණ්ඩුව කරන්න ඕනෑ ගැසට් ගහන එක නෙවෙයි. ඒකාධිකාරිය බිඳ තරගකාරිත්වයක් ඇති කිරීමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ මැදිහත්වීමක් ඕනෑ. නමුත් මේ පාලකයන්ට ඒ පිළිබඳ දැක්මක් හෝ ඕනෑකමක් නැහැ. මේ නිසා අසරණ වෙන්නේ අපේ රටේ පොදු ජනතාවයි.
එක රැයින් රසායනික යෙදවුම් නතර කිරීම
අනෙක් පැත්තෙන් රසායනික යෙදවුම් එක රැයින් නතර කිරීම නිසා කෘෂිකර්මාන්තයට වෙන හානිය අපි දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. රසායනික යෙදවුම්වල ඉඳලා කාබනික යෙදවුම් දක්වා පරිවර්තනය වෙන්න අනිවාර්ය සංක්‍රමණීය කාලපරිච්ඡේදයක් ඕනෑ. සෞභාග්‍යයේ දැක්ම අනුව නම් එය අවුරුදු 10ක්. පසුගිය කාලයේ මේ විදිහේ සැලසමක් 2020දී අවසන් කරන්න සකස් කර තිබුණා. නමුත් 2018 සමාලෝචනයය කරලා 2030 දක්වා කල් දැම්මා. නමුත් අපේ රටේ මහ කන්නයේ තීන්දුවක් අරගෙන යල් කන්නයේ සිට ක්‍රියාත්මක කරනවා. මේ නායකයන් ජාත්‍යන්තර සමුලුවලට ගිහින් තමන්ගේ ප්‍රධාන වැඩේ එය බවට පුරසාරම් දොඩවනවා.
අද වෙනකොට කාබනික පොහොර නිෂ්පාදන සැලසුම් සියල්ල අසාර්ථක වී ඒවා ආනයනය කිරීමට සූදානම් වෙනවා. නයිට්‍රජන් 17%ක් අඩංගු කාබනික පොහොර ආනයනය කරන්න දෙන බව කිව්වා. ඒ අනුව ටෙන්ඩර් කැඳවූවා. බොහෝ දෙනෙක් ඒ අනුව ඉල්ලුම් කළේ නැහැ. නමුත් චීනයේ කින්ඩාවෝ සමාගමට ටෙන්ඩරය ලබාදී තිබෙන්නේ 10% නයිට්‍රජන් ප්‍රතිශතයට ආනයනය කරන්න. ඒ අනුව ගෙන්වූ සාම්පල්වල අර්වේනියා සහ බැසිලස් කියන ඉතාමත් හානිකර බැක්ටීරියා තිබෙන බව ශාඛ නිරෝධායන සේවයෙන් හොයා ගත්තා. මේ සම්බන්ධයෙන් මහින්දානන්ද මාධ්‍ය සාච්ඡා පවත්වා නිරෝධායන සේවය ගැන සැක පහළ කළා.
කෘෂිකර්ම ඇමතිවරයා පෙනී සිටියේ තමන්ගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ශාඛ නිරෝධායන සේවය වෙනුවෙන් නෙවෙයි. චීනයෙන් ගෙනෙන කැලිකසල සමාගම්කාරයාගේ පැත්තයි. මේ ගොල්ලෝ සමාගම්වල නියෝජිතයෝ. හරිනම් විෂ සහිත පොහොරක් ලංකාවට පැමිණීම වැළැක්වීමේ පරීක්‍ෂණ කළ නිලධාරීන්ට ස්තුති කරන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවට ඇමතිවරයා කුමන්ත්‍රණයක් තියෙන බවට සී.අයි.ඩී.යට පැමිණිලි කරන බව කීවා.
විද්වත් නිලධාරීන් නිසා විශාල විනාශයක් නැවතුනා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන්, ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින්. ඔවුන් විෂ සහිත කාබනික පොහොර ගෙන්වීම වැළැක්වීම සඳහා විශාල හඬක් නැගුවා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මේ නිසා අපේ රටේ පොදු ජනතාව, අපේ මාතෘභූමියේ පැත්ත ගැනීමෙන් විශාල විනාශයක් වීම වැළැක්වුණා. ඔක්තෝබර් මැද වනවිට මහ කන්නයේ වී වගාව ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් කාබනික පොහොර දෙන්න නම් විශාල මෙහෙයුමක් කරන්න වෙනවා. නමුත් ඒ කිසි දෙයක් නැහැ.
අපි දිගටම කීවේ ගොවියෝ කෘෂිකර්මාන්තය අත්හැරීම වගේම විශාල ආහාර හිඟයක් ඇති වෙන බවයි. ඩොලර් නැති නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා වරායෙන් ගොඩබා ගන්න බැරිවෙලා තියෙනවා. නමුත් එහෙම තිබියෙදී හාල් පිටරටින් ගේන බව ආණ්ඩුව කියනවා. රටක ආහාර සුරක්‍ෂිතතාව විනාශ කර ඩොලර් පතුලටම හිඳී තිබෙන වෙලාවක මේ පාලකයන් කිසිදු වගකීමකින් තොරව අපරාධකාරී ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා.
දවස් 15කට හාල් ගෙනත් ප්‍රශ්නය විසඳන්න බෑ….
සාමාන්‍යයෛන් දවසකට සහල් මෙ.ටොන් 6,500ක් අවශ්‍ය වෙනවා. එහෙම තියෙද්දී ආණ්ඩුව සහල් මෙට්‍රිටොන් ලක්‍ෂයක් ගේන බව කීවා. අවුරුද්දේ දින 365න් දින 15කට ප්‍රමාණවත් සහල් ආනයනය කර ප්‍රශ්නය විසඳන බව ආණ්ඩුව කියනවා. මේ පාලකයන් කිසිම අවබෝධයක් නැති අසාර්ථකම පාලකයන්. 20වැනි සංශෝධනය, 2/3 බලය, හදිසි නීති රෙගුලාසි ඇතුළු අධිකාරී බලය සහිත පාලකයන් පත්කිරීමේ ප්‍රතිවිපාකවලට ජනතාව මුහුණපා සිටිනවා.
මේ වනවිට ගොවියන් සහ පාරිභෝගික ජනතාව පත්වී තිබෙන අසීරු තත්වයෙන් මුදා ගැනීමට වේගයෙන් මැදිහත්වීම් කළ යුතු බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.







