ජනාධිපතිවරයාට සහ රජයට විරෝධයව පළ කරමින් ගාලු මුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැස්ව සිටින ජනතාවගේ පරිහරණය සදහා පෞද්ගලික ආයතනයක් වෙතින් ලබාගත් ජංගම වැසිකිලි ගාලු මුවදොර ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් රජයේ බලධාරීන් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම වැසිකිළි පද්ධතිය ගාලු මුවදොර මහා මාර්ගයේ පදික වේදිකාවක ස්ථානය කිරීමට උද්ඝෝෂණකරුවන්ට සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් කටයුතු කළ උද්ඝෝෂණයට සහය පළ කරන තරුණයෙක් අප සමඟ ප්‍රකාශ කළේ මෙම ස්ථානයට සහභාගී වන ජනතාවගේ පහසුව පිණිස පෞද්ගලික ආයතනයක් වෙතින් ලබා ගත් මෙම නවීන ජංගම වැසිකිළි කිහිපය ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කළ නමුත් එය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි. ඔහු මෙම ඉල්ලීම නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පැමණි බව සඳහන් කළද එය අපට තහවුරු කර ගත නොහැකි විය.
කෙසේ වුවද මෙම ප්‍රතික්ෂේප කිරීම හමුවේ වැසිකිළි එම ස්ථානයෙන් ඉවත්කොට මහා මාර්ගය අද්දරට ගෙන ගොස් සවි කර ඇත.
ගාලු මුවදොර පිටිය මේ වනවිට වරාය අධිකාරිය යටතේ පාලනය වන අතර නාගරික සංවර්ධන අධිකරියට එහි පරිපාලනමය හිමිකමක් පැවරෙන්නේ නැත. කෙසේ වුවද මෙම ස්ථාපනයට ප්‍රජාතන්ත්‍රියව පමිණෙන ජනතාවට සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය මූලික වගකීමක් වන අතර එය අහිමි කරන්නේ නම් ඊට එරෙහිව නෛතික පියවර ගැනීමටද එම ස්ථානයට සහභාගී වන නීතීඥවරුන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව මෙම තරුණයා සඳහන් කළේය.
එසේම මෙම ස්ථානයේද එම වැසිකිළි රැඳවීමට යමකු විරෝධය දක්වයි නම් වාහනයක මෙම වැසිකිළි රැඳවීම කෙරෙහිද යෝජනා ඉදිරිපත් වූ බව ඔහු පැවසීය.