ගෝල්ෆේස් අරගලයට අදට දින 23 කි. අරගලය සංවිධානය වන්නේ සමාජ මාධ්‍ය හරහා පැතිරුනු දැන්වීම් ඔස්සේය. පසුගිය 08 වැනිදා ගෝල්ෆෙස් පැමිණි තරුණ පිරිස් ගෝඨාගම හදාගෙන එහි පදිංචි වූහ.
වටහා ගත නොහැකි තරම් නිර්මාණශීලී භාවිතයන් සමග ගෝල්ෆේස් විරෝධය අරගලයක්, සැනකෙළියක්, අධ්‍යාපන මධ්‍යස්ථානයක්, සංවාද කේන්ද්‍රයක්, ලෙස වැඩී වර්ධනය වෙමින් ඇත්තේය.
මේ භූමියේ එළියට පෙනෙන කුරුට්ටලා අප්පච්චිලාට වඩා ගැඹුරු සංවිධාන ව්‍යුහයක් සහිතව දිවෙන අමුතු ආකාරයේ ස්වෙච්ඡා වැඩකි. රඟපාමින් සිටින සමහරු මේ වනවිට භූමියෙන් විසිවී ගොස්ය. විශේෂත්වය වන්නේ බොහෝ දෙනෙක් විශ්වාස කරන ආකාරයට ගෝල්ෆේස් අරගල වේදිකාව නිර්මාණය කරන පිරිස අතර දේශපාලන කණ්ඩායමක් බලවත් වී නොසිටීමය. තීන්දු ගන්නේ බාහිර සමාජයේ ඇති දේශපාලන පක්ෂ රාමුවට කොටුවූ දේශපාලන න්‍යාය පත්‍ර අනුව නොවේ.
මෙය පසුපස ඉන්නේ නිර්මාණ ශීලී තරුණ කණ්ඩායමකි. වාර්තාවන පරිදි එම කණ්ඩායම සියයකට ආසන්නය. ඉන් තුනෙන් දෙකක පිරිසක් ඉන්නේ අරගල භූමියේය. තුනෙන් එකකට ආසන්න පිරිසක් අරගල භූමියෙන් පිටතය. පිටත සිටින කණ්ඩායම ගෝල්ෆේස් පරිශ්‍රයෙන් පිටත ඇති ගෝඨාගෝගම් ප්‍රධාන ගම්මානය හා සම්බන්ධ කරති. ගෝඨාගෝගමේ තීන්දු ගන්නේ මේ සියයකට ආසන්න පිරිස අතර ඇති කරන්නා සම්මුතියෙනි. දෙදිනකට වරක් ඔවුන් තාක්ෂණය මගින් එක් වී සම්මුති ගොඩනගති. ඒවා ක්‍රියාත්මක කරති.
මේ වනවිට අරගලභූමිය හා බද්ධ වී ඇති ගෝඨාගෝගම් නියෝජන 160ක් ලංකාව පුරා පිහිටුවා තිබේ. මේ විරෝධතා ගම්මාන ගෝල්ෆේස් විරෝධය පහළම සමාජ ස්ථරය වෙත සම්ප්‍රේක්ෂණය කරමින් සිටිති.
ගෝඨාගෝගම නිර්මාණශීලී ව්‍යාප්තියක් සහිතව ගොඩනැගෙමින් තිබේ. අරගල භූමිය වටා ව්‍යාප්තව විවිධ සේවා සපයන කුටි 246කි. නීතී උපදේශක කාර්යාලය, මාධ්‍ය මධ්‍යස්ථානය හා පුස්තකාලය, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය, රතු කුරුස කාර්යාලය, මානව හිමිකම් කාර්යාලය, ආහාර ලබාදීමේ කාර්යාල, ප්‍රදානයන් බාර ගැනීමේ මධ්‍යස්ථානය ඇතුලු සමාජ සත්කාරක සේවා සපයන කාර්යාල රැසක් ඒ අතර වේ.
ආහාරද්‍රව්‍ය හෝ ප්‍රධාන පුද්ගලික වශයෙන් ආයතනික වශයෙන් අරගල භූමියට ලැබෙමින් තිබේ. ස්වේච්ඡා සේවය සඳහා කොළඹ ඉහළ මධ්‍යම පාන්තික පවුල්වල සිට සාමාන්‍ය දුගී මනුෂ්‍යයා දක්වා පැමිණෙති. විශේෂත්වය වන්නේ මේ හමුවීමය. ජීවිත පීඩනය හේතුවෙන් මමංකාරය බිඳ දමා විවෘත මනසකින් පැමිණෙන මේ පිරිස් අතර ඇතිවන සංවාදය සමහරවිට මේ අරගල වේදිකාව නිර්මාණය කරන පිරිස් බලාපොරොත්තුවනවාට වඩා බරසාරය. ජාති ආගම් භේද රහිත නිදහස් මනෝභාවයක් එහි ගලා යන්නේ ඒ හේතුවෙනි.
භූමියේ පිහිටුවා ඇති කුටි මොනවා ද, එම කුටිවල සිදුවන්නේ මොනවාද යන්න සොයා බලා භූමියේ විනය ආරක්ෂා කරගැනීම ගෝඨාගමේ ක්‍රියාකාරී හැටකට ආසන්න තරුණ පිරිස වගකීමකි. ගැටලු සහගත කුටි ඉවත් කිරීමේ බලය ද ඔවුන් සතුව ඇත.
ආර්ක්ෂක අංශ හෝ වෙනත් කඩාකප්පල්කාරී හැසිරිම් සහිත පුද්ගලයින් හඳුනා ගැනීම සහ ඔවුන් සම්බන්ධව විසිලිමත් වීම ද මේ සංවිධානය තුළ සිදුකෙරේ. මේ ජන අරගලය ව්‍යසනයකට ලක් කිරීමේ අරමුණින් පැමිණි සිය ගණනක් පුද්ගලයින් සම්බන්ධව මේ පිරිස දැඩි අවධානයකින් පසුවෙමින් ඇත.
මේ රටේ අනාගතය කුමක් විය යුතු ද යන්න පිළිබඳ සජීවී මොඩලයක් ගෝඨාගෝගම පරිශ්‍රයේ නිර්මාණය වී තිබේ. දැනට එය ප්‍රමාණවත්ය. අප යලිත් කියන්නේ ඒ මේ රූපණය වෙමින් ඇත්තේ ගෝල්ෆේස් විරෝධතා වේදිකාව නිර්මාණය කළ කණ්ඩායම අපේක්ෂා කළ මට්ටමටත් වඩා උඩින් ඇති දෙයක් බවය.
එවැනි වේදිකාවක් කවුරුන් හෝ නිර්මාණය කර දෙනු ලැබුවහොත් රට ඔසවා තැබිය හැකි තැන ගැන ගෝල්ෆේස් එන තරුණ අරගලකරුවෝ ඉඟිකරති.
ගෝල්ෆේස් අරගල වේදිකාව මත සමාජ කථිකාවක් නිර්මාණය කළ මේ රටේ නිර්මාණශීලී තරුණයින් දැනට රටේ කැබිනට් එක වෙනස් කර ඇත. අසීමිත බලය සම්බන්ධ මෑත ඉතිහාසයේ කුප්‍රකට පවුල් ඒකකය වූ රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ පසුපෙළට විසි කර දමා ඇත. දේශපාලන කුණු බක්කියේ සිටි කලාකරුවන් ගෝල්ෆේස් ගෙන්වා ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන් ලවාම ප්‍රශ්න ඇත. පාර්ලිමේන්තු නියෝජනයේ වැඩබැරි කාලකන්නි කුජීතකම පෙන්වා 225ම නිරුවත් කර ඇත. මෙච්චර කල් බැන බැන හිටිය සමාජ වෙනසක් අපේක්ෂා කරන රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාශීලී නියෝජනය වූ අන්තරේ කොල්ලන්ට රටම ආදරය කරන තැනක් හදා දී තිබේ.
මේ තරම වුවද ප්‍රමාණවත්ය. ගෝල්ෆේස් අරගලයේ නිශ්ඡිත සාධනීය තත්ත්ව සම්බන්ධව අධිමානිත නිගමන අවශ්‍ය නැත. දැනට මෙසේ ලියා තබමු. ඉතිහාසය ලියැවෙන විට මේ නම් ගම් නැති තරුණ තරුණියන් නූතන අරගලයේ හැඩය ගෝල්ෆේස් හරහා ලෝකයට ගෙන ගිය ආකාරය සම්බන්ධව ඔවුන්ට හිමි ගෞරවය සහිතව සටහන් වනු ඇත.







