වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට තුඩු දුන් හේතුව වහාම නිවැරදි කරගත යුතු බවත්, එසේ නිවැරදි වීම කිසිවෙකුගේ අභිමානයට කැළලක් නොවන බවත් පවසන කර්මාන් ඇමති විමල් වීරවංශ ලජ්ජා විය යුත්තේත් බිය විය යුත්තේත් වෙච්ච වැරැද්ද නිවැරදි කරගැනීමට නොව, කරන්නේ වැරැද්දක් බව දැන දැන ඒ වැරැද්ද යළි යළිත් කිරීමට බව කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ අද (28) කඩුවෙල මහ නගර සභාව විසින් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ පාසල් විවාද තරගයක ආරාධිත අමුත්තෙක් සේ සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී ඇමතිවරයා මෙසේ ද කීවේය.
“දැන්වත් අප අපට වෙච්චි අඩුපාඩුව හඳුනාගෙන නිවැරදි විය යුතුයි. නිවැරදි වෙන්න බය වෙන්න ඕන නෑ. ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගොවීන්ගේ විරෝධතාවය නිසා එතුමා අකුලා ගත්තා. ඒක අභිමානයට කැළැලක් නොවෙයි. එහෙම තමයි පාලන තන්ත්‍රයේ ස්වරූපය. අභියෝග ආවට පස්සේ සමහර වෙලාවට පසුබසින්න වෙනවා.“
“මෙතනදි මා හිතනවා අපේ වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩු දුන් හේතු වහාම නිවැරදි කරන්න ඕන. ඒ වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න ලජ්ජා වෙන්න ඕන නෑ. ලජ්ජා වෙන්න ඕන ඒ වැරැද්ද තවදුරටත් නිවැරදියි කියලා හිතාගෙන තවදුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීමටයි. ඊටයි අපි ලජ්ජා වෙන්න ඕන. බය වෙන්න ඕන.“
කර්මාන්ත ඇමති විමල් වීරවංශ කීවේ මේ වනවිට පොහොර සහනාධාරය සඳහා ගෙවනවාට වඩා වැඩි මුදලක් වගා හානි වන්දි ලෙස ගෙවන්නට සිදු වී ඇති බවය. වැරැද්දේ තරම එයින්ම පෙනෙන බව කී ඇමතිවරයා ගොවි ජනතාවගේ ජීවිත, ආහාර සුරක්ෂිත තාවය සහ මුලු මහත් ප්‍රජාවක බඩගින්න සමග සෙල්ලම් කළ නොහැකි බව කීවේය.
“අපට හිතන හිතන තීරණ ගන්න අයිතියක් නෑ. ඒ වැරැද්ද නිවැරදි නොවුනොත් රටට විශාල ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.“ ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය.







