මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර මහ කන්නයේ වී මිල ඉහළ ගියද ඊට වැඩ කුලී, ඉන්ධන වියදම්, මෙන්ම ඊට සාපේක්ෂව බඩු මිල ඉහළ යෑමෙන් තමන්ට මෙවර වී අස්වැන්නෙන් කිසිදු ලාබයක් ලබා ගත නොහැකි බව මහවැලි බී කලාපීය ගොවීහු පවසති.
මෙවර මහ කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් තම අස්වනු සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ගොවීහු ප්‍රකාශ කරති.
මීට පෙර කන්නවල අක්කර දෙකහමාරකින් වී කිලෝ 6500 ක් 7000 අතර ප්‍රමාණයක් ලබා ගත්තද මෙවර කාබනික පොහොර භාවිතයෙන් සාමාන්‍යයෙන් ගොවියෙකුට එක් කුඹුරකින් ලබාගැනීමට සිදුවී ඇත්තේ වී කිලෝ 3000 ට අඩු ප්‍රමාණයක් බවද ගොවීහු පෙන්වා දෙති.
මේ තත්වය තුළ මහවැලි බී කලාපය නාඩු වී කිලෝවක් රුපියල් 94කටත් 95 ට ත් අතර මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 96 කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120 කටත් පෞද්ගලික වෙළඳුන් විසින් මිලදී ගනිමින් සිටින බව ගොවි නියෝජිතයෝ සඳහන් කරති.
මෙවර වී අස්වනු අඩුවීමත් සමඟ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගෙන් අධික මිලකට වී අස්වනු ලබා ගැනීමට තරඟයක් ඇති කළ ද තමන් ලබාගන්නා වී අස්වනු අනුව තමන්ට ඉන් ලාභයක් නොලැබෙන බවද ගොවීහු සඳහන් කරති.
පොලොන්නරුවේ මහා පරිමාණ වී හා සහල් මෝල් හිමිකරුවන් තමන්ගෙන් ලබාගන්නා වී අස්වනු ඉදිරියේදී සහල් බවට පත්කර තමන්ටම සහල් කිලෝවක් රුපියල් 300කටත් 350 කටත් මිලදී ගැනීමට සිදුවන බවද ගොවීහු අනතුරු අඟවති,
අධික ලෙස ඉන්ධන මිල ඉහළ යෑමත් සමග වී අස්වනු නෙළන යන්ත්‍ර හිමිකරුවන් අක්කරයකට වී අස්වනු නෙලීමට රුපියල් තිස් දහස දක්වා මිල ඉහළ දමා ඇති බවද ගොවීහු සඳහන් කරති, වී අස්වනු නෙලීමට ඔවුන්ට තමන් විසින් ඩීසල් ලබාදීම අනිවාර්ය කර ඇති බවද ගොවීහු කියති.
තමන් මෙවර කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් අස්වනු ප්‍රමාණයෙන් ලාභයක් ලබාගැනීමට නම් වී කිලෝවක් රුපියල් එකසිය පනහකටවත් ලබාදිය යුතු බවද පොළොන්නරු ඇතුළු මහවැලි බී හා සී කලාපවල ගොවීහු කියති.