ශ්‍රියානි විජේසිංහ –
රෝහල්වල නේවාසික රෝගීන්‌ගේ ආහාරය සදහා ප්‍රමිතියෙන් තොර අහාරද්‍රව්‍ය ලබාදෙන සැපයුම්කරුවන්ට විරුද්ධව නීත්‍යානූකූලව කටයුතු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය තීරණය කරයි.
මේ වන විටත් ආහාර සැපයුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශය විශාල වශයෙන් මුදල් ගෙවීමට තිබෙන බැවින් එයට විරෝධයක් ලෙස ඇතැම් සැපයුම්කරුවන් රෝහල්වලට ප්‍රමිතියෙන් යුතු නොවූ ආහාරපාන ලබා දීමට කටයුතු කරන බවට මේ වන විටත් සංගමයට තොරතුරු ලැබෙමින් තිබෙන බව සංගමයේ සභාපති උපුල් රෝහණ කීවේය.
රෝහලක ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට ගුණාත්මක ආහාරවේලක් ලබා දීම අනිවාර්ය බවත්, ගුණාත්මක ආහාර රෝග සුවපත් කිරිමට ප්‍රධාන හේතුවක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රෝහල් මුළුතැන්ගෙන ලැබෙන ආහාරපාන රෝගීන් සදහා පිළියෙළ කිරීමට පෙර රෝහල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මුළුමනින්ම පරික්ෂාවට ලක්කරන අතර තැලුනු , පණුවන් ගසා ඇති, පිළුණුවුණ, පොඩිවුණ ආහාර පාන මුළුමනින්ම බැහැර කරන බවද ඔහු කීවේය.







