සිම්බාබ්වේහිදී මේ මස 21 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ටී10 ක්‍රිකට් තරගාවලිය සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජනිෂ්ක පෙරේරා සිය ලිපි ලේඛන ද සහිතව ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට ගිය අවස්ථාවේදී විදේශ ගමන් බලපත්‍ර පාලකවරයා අද (13) එම ක්‍රීඩකයාට පිරිස ඉදිරියේ පහත් ලෙස බැන වැදී පන්නා දැමීමේ පුවතක් ලංකාදීප වාර්තා කර ඇත.
හරාරේහිදී පැවැත්වෙන එම තරගාවලියට 23 හැවිරිදි ජනිෂ්ක පෙරේරා තෝරාගෙන ඇති බවට මීට දින දෙකට පෙර දැනුවත් ඇති බවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අදාල අනුමත කිරීමේ ලිපි රැගෙන ආගමන විගමන කාර්යාලයට අද ගොස් ඇත්තේ මේ මස 17 වැනිදා සිම්බාබ්වේ වෙත පිටත් විය යුතු වීම නිසාය.
ජනිෂ්ක පෙරේරා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් බිහිවුන දැනට ලංකාවේ බලාපොරොත්තු උපදවා ගත හැකි පැහැසර අනාගතයක් සහිත ක්‍රීඩකයෙකි. ඉදිරිපෙළ ක්‍රීඩා කරන දකුණත් පිතිකරුවෙකි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමෙන් පසු ගාලු ක්‍රිඩා සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළ පළමු පෙළ තරග 14ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 05ක් වාර්තා කළ යොවුන් පිතිකරුවෙකි.
මෙම තරගාවලිය රටට වැදගත් වන්නේ රටේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය අන්තර්ජාතික අත්දැකීම් ලබා ගැනීමට ජනිෂ්ක පෙරේරා වැනි තරුණයෙකුට ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවන් වන බැවිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි වීම ජනිෂ්ක පෙරේරාගේ වරදක් නොවීමත් එසේ නොහැකියාවක් තිබුණත් පුරවැසියෙකුට එම පුරවැසියාගේ ආත්ම ගෞරවය කෙළෙසන ආකාරයෙන් සමාජය ඉදිරියේ බැන වැදීමට කිසිම රාජ්‍ය නිලධාරියෙකුට අයිතියක් නොමැති වීමත් සම්බන්ධ කාරණාව මෙහිදී ලංකාදීප පුවත ඉස්මතු කර පෙන්වයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වාගෙන් මෙම තරගාවලිය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එය සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් සංවිධාන කරන තරගාවලියක් බැවින් එයට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය හිමිව ඇති බවය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ පිළිබඳව කළ විමසුමේදී පවසා ඇත්තේ දිනයක් සහ වේලාවක් වෙන්කිරීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ නොහැකි බවත් කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයා සම්බන්ධ ගැටලුව පිළිබඳව අවධානය යොමුකිරීමට පැය කීපයක් ලබාදෙන ලෙසත්ය. දිනකට විදේශ ගමන් බලපත්‍ර 750 ක් නිකුත් කරන බවත් සෙසු අයට දිනයක් දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
මහජන ආරක්‍ෂක අමාත්‍යයේ ලේකම් වියානි ගුණතිලක පවසා ඇත්තේ අදාල ක්‍රීඩකයා ද දිනයක් වෙන්කර ගත යුතු බවත් වෙනත් කිසිඳු ක්‍රමයකින් විදේශ ගමන් බලපත්‍රය ගත නොහැකි බවත්ය.
බලධාරීන් පවසන ආකාරයට රටට තම පුරවැසියෙක් වෙත ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ඇති නොහැකියාව නිසා මෙම යොවුන් ක්‍රීඩකයාට තරගාවලියට සහභාගිවීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. – (යොහාන් භාසුර)







