පාර්ලිමේන්තුව තුළ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හැසීරීම ජනතාව ප්‍රකෝප කිරීමට තරම් පහත් යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ පවසති.
ජනතාව ප්‍රශ්න වලින් මිරිකී මහ මඟ දුක් විඳිත්දී මහජන නියෝජිතයින් මෙයට වඩා වගකීමෙන් හැසිරිය යුතු බවද උන්වහන්සේ කීහ.
අධිෂ්ඨානයේ දේශාභිමානය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ජගත් කරුණාරත්න අද (08) අස්ගිරි මහා විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
දේශපාලනඥයින්ට කොතරම් අවවාද අනුශාසනා කළත් ඔවුන් රාජ්‍ය පාලනයේදී ඒවාට කන් නොදෙන බවත් ඒ නිසා අද රට මෙතරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බවත් මහනාහිමියෝ පැවසූහ.
යළිත් වරක් මේ රටේ තරුණ ප්‍රජාව පාලකයින්ට එරෙහිව පාරට බසින්නට සූදානම් වී තිබෙන බවත් ලේ සෙලවීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අරමුණු කරා යොමුවීම වැදගත් බවත් කී අස්ගිරි මහනාහිමියෝ නීතීඥ ප්‍රජාවගේ මග පෙන්වීමද මෙම වැඩපිළිවෙළට තිබෙන නිසා සියලු දෙනා නීතිය ආරක්ෂා කරගනිමින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජගත් කරුණාරත්න මහතා මේවන විට තෙල් පෝලිම් වල 18 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් මේ සියලු මරණ වලට පාලකයින් වගකිව යුතු බවත් පැවසුවේය.
පාලකයින්ට එරෙහිව ජනතාව පාරට බැසීම දැන් කිසිසේත් වැලැක්විය නොහැකි බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමුවී ලේ සෙලවීම් වන තත්ත්වයකට රට පත් නොවීමට නම් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් මෙහිදී පෙරට පැමිණ කටයුතු කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.
ඡායාරූප-ජගත් කරුණාරත්න මහතා රට මුහුණ දී තිබෙන දේශපාලනික හා ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් අස්ගිරි මහනාහිමියින් වෙත සංදේශයක් පිළිගැන්වූ අයුරු.