මහනුවර මහ නගර සභාවේ අරුප්පොළ කාර්මික වැඩපොළට ග්‍රීස් කිලෝ ග්‍රෑම් 4140 ක් මිලට ගැනීමේ දී රුපියල් අනූහය ලක්ෂ තිස්හත් දහස් පන්සිය හැටක (9637560) ක පාඩුවක් සිදුව තිබෙන බව විගණනයේ දි අනාවරණය වී තිබේ.
නගර සභාවේ අරුප්පොළ කාර්මික වැඩපොළ සඳහා 2023 සිට 2024 ජූලි දක්වා ග්‍රීස් කිලෝ ග්‍රෑම් 4140 ක් මිලට ගැනීමට වැයකර තිබෙන මුදල රුපියල් එක්කෝටි අනූඅට ලක්ෂ හැටදහස් තුන්සීය (19860300) කි.
පසුගිය වසරේ අප්‍රේල් 10 දින කිලෝ ග්‍රෑම් 900 ක් රුපියල් 521500 ට ද අගෝස්තු 17 දින කිලෝ ග්‍රෑම් 1080 ක් රුපියල් 5389200 ටද දෙසැම්බර් 11 දින කිලෝ ග්‍රෑම් 1080 ක් රුපියල් 53192002 කටද 2024 මාර්තු 27 දින කිලෝ ග්‍රෑම් 900 ක් රුපියල් 3235500 කට ද ජූලි 29 දින කිලෝ ග්‍රෑම් 180 ක් රුපියල් 791100 ටද නගර සභාව මගින් මිලට ගෙන තිබෙන බව විගණනයේ දි අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දින 14 ක් තුළ දැනුම් දෙන ලෙස දන්වමින් විගණන විමසුම මහනුවර නාගරික කොමසාරිස්වරිය වෙත යොමුකර ඇත. එහි පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්,ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් හා පළාත් පාලන කොමසාරිස් වෙත ද යොමුකර තිබේ.
මෙම ග්‍රීස් ප්‍රමාණය මහනුවර කැල්ටෙක්ස් අළෙවි නියෝජතගෙන් මිල දි ගත්තේ නම් ඒ සඳහා වැයවන මුදල රුපියල් එක්කෝටි දෙලක්ෂ විසි දෙදහස් හත්සිය හතළියක් බව විගණනය අදාළ ආයතන වලට ගොස් සිදුකළ නිරීක්ෂණයේ දි පෙනී ගොස් ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු පළාත් පාලන ආයතන මහනුවර කැල්ටෙක්ස් අළෙවි නියෝජිතවරයා ගෙන් අඩු මිලට ග්‍රීස් මිල දි ගනිත් දී මහනුවර මහ නගර සභාව මගින් වෙනත් ආයතනයකින් වැඩි මිලට ග්‍රීස් මිල දි ගැනීමෙන් මෙම පාඩුව සිදුව තිබෙන බව විගණනය පෙන්වා දෙයි.
ග්‍රීස් මිලට ගැනීම සඳහා අවස්ථා පහක දී මිල ගණන් කැඳවා තිබෙන අතර ඒ සෑම අවස්ථාවකම ආයතන හතරක් මගින් මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ඒ අතරින් නගර සභාව එකම ආයතනයකින් මිල දී ගැනීම් සිදුකර තිබෙන බවත් විගණන විමසුමේ සඳහන් වේ.
ලංසු ඉදිරිපත් කර තිබූ එක් ආයතනයක් ග්‍රීස් සැපයීම සිදු නොකර බවත් මිල ගණන් පරික්ෂාවේ දී එකිනෙකට වෙනස් අත්සන් යොදා විවිධ අක්රමිතාවන් සිදුකර තිබෙන බව පැහැදිලි වූ බවත් විගණනයේ දී හෙළිව ඇත.
( මෙම සිදුවිම වාර්තා වන්නේ අරුප්පොල තාක්ෂණ විද්‍යාලයේ නොව මහනුවර මහ නගර සභාවේ අරුප්පොළ කාර්මික වැඩපොලේ බව කාරුණිකව සලකන්න.)







