ගාසා තීරයේ විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින ළමුන්ගේ මූලික අවශ්‍යතා සඳහා වියදම් දැරීම පිණිස පිහිටුවා ඇති ගාසාහි ළමා අරමුදල සඳහා මහජනතාවගේ සහ විවිධ සංවිධානවලින් මැයි 31 දක්වා ප්‍රදානයන් භාර ගැනීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව කැබිනට් මන්ඩලයේ අනුමැතිය සහිතව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර ඇත.
ඒ අනුව ගාසා තීරයේ ළමුන්ගේ සහන කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් පසුගිය ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන විසින් වෙන් කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ 2024-04-01 දින එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය (UNRWA) හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය.
ඉහත මුදලට අමතරව ලබන 31 දක්වා ලැබෙන මුදල් ද එක් කර සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටියි.







