තුෂාරී කළුබෝවිල –
ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩි ම වර්ෂාපතනය කලුතර දිස්ත්‍රික්කයේ හොරණට ලැබී ඇති අතර එය මිලිමීටර් 194.5ක් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
එසේ ම ඉංගිරියට මිලිමීටර් 187 ක ද හල්වතුරට මිලිමීටර් 155.5 ක ද අරකාවිලට මිලිමීටර් 133 ක ද ගාල්ල දිස්ත්‍රික්කයේ හෑගොඩට මිලිමීටර් 142.5 ක ද වැසි ලෑබී ඇති අතර නුවරඑළිය, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ලැබී තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර, පියදිගම, දංගෙදර, ඇල්පිටිය, ඉමදූව, හබරාදූව, තවලම, ඇල්පිටිය, බෝපේ පෝද්දල යන ප්‍රදේශවල පුද්ගලයින් පන්සියයකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත් ව ඇති අතර ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී, නිවාස රැසකට ද හානි සිදු ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ත්‍රිකුණාමලයේ පුද්ගලයෙක් අකුණු සැර වැදීමෙන් මියගොස් ඇති අතර දකුණ, සබරගමුව හා මධ්‍යම පළාතේ නිවාස කිහිපයකට ද හානි සිදු ව තිබේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින ආශ්රිත ව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව තැන තැන වැසි ඇති වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර්100 ක පමණ තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බවත් ඔවුහූ පවසති.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තවදුරටත් කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිටි, පාලින්දනුවර, දොඩංගොඩ, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවලට ද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇළපාත, අයගම, කිරිඇල්ල, පැල්මඩුල්ල, කලවාන නිවිතිගල ප්‍රදේශවලට ද ගාල්ලේ බද්දේගම ප්‍රදේශයට ද නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
සවස් කාලය වන විට වැසි තත්ත්වය තරමක් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.







