රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ අද ( 27) ඇප මත මුදාහැරියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිර පසුගිය 22 දා නියෝග කළේ මෙම තැනැත්තා අද දින (27) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
ඔහුට එල්ල වූ චෝදනාව අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමෙන් ණයට ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් පොරොන්දුවූ කාලවකවානුව තුල නොපියවා වංචා කිරීමය.
සැකකරු පැමිණිලිකාර පාර්ශවයෙන් මෙම මුදල ලබාගෙන තිබුනේ දින 15කින් එය පියවා දැමිමේ පොරොන්දුව මත වුවත් එ් සඳහා දෙපාර්ශවය විසින් අත්සන් කළ ගිවිසුම උල්ලංඝනය කරමින් තාඹුගල කට්ටි පැන්න බව චූදිත පාර්ශවය චෝදනා කළේය.
අවසානයේ දි අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධිපති ආතර් සේනානායක මේ සිද්ධිය පැමිණිල්ලක් ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ඉදිරිපත් කළේය.
ඒ අනුව කෙරුණු විමර්ශනය ප්‍රකාරව තාඹුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් විය.
අනතුරුව සැකකාර තාඹුගල අධිකරණයට ඉදිරිපත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22 පවසන්නේ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ දී රුපියල් මිලියන 60ක මුදලක් සැකකරුගේ ගිනුම වෙත බැරවී ඇති බවට සියලු තොරතුරු ලැබී ඇති බවය.
මෙම ණය පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුවී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේය.
විරංජිත් තාඹුගල වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරු එදා සදහන් කර සිටියේ තාඹුගල අදාළ ආයතනයෙන් හෙළිකොප්ටර් දෙකක් මිලදීගැනීමේ ගනුදෙනුවක් සිදුකර ඇති බවත්, අදාළ අවසන් මිලගණන් විමර්ශනයේ රුපියල් මිලියන 120ක මුදලක් තම සේවාදායකයා පැමිණීලිකරුට ගෙවා ඇති බවත්ය.
තාඹුගලගේ නීතිඥවරු කීවේ තාඹුගල එවැනි කෝටි 07ක මුදලක් ලබා ගත්තේ නැති බවය.
අධිකරණය මේ දෙපාර්ශවයේම කරුණු සලකා බලා පසුගිය 22 දා තාඹුගලව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.
තාඹුගල සම්බන්ධ විමර්ශන හැකි ඉක්මනින් අවසන් කර අවසන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
අනතුරුව අද ( 27) දින තෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තාඹුගල අධිකරණය විසින් ඇප මත නිදහස් කළේය.