දිනසේන රතුගමගේ
රුපියල් කෝටි තුනක් පමණ වටිනා තල්මසුන්ගේ ශරීරයෙන් බැහැර කරන අපද්‍රව්‍යයක් වන අම්බර (Ambergris) කිලෝ ග්‍රෑම් දෙකහමාරක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු මැයි මස 3 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයා 20 දා නියෝග කළේය.
මෙම සැකකරුවන් අනුරාධපුරයේ හා පුත්තලමේ සිට මුලතිව් නගරයට පැමිණ අම්බර් තොගය මිලට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත බාර දී තිබුණි.
වාහන දෙකකින් පැමිණි මෙම සැකකරුවන් හතර දෙනා අතර කාන්තාවක් ද සිටින අතර ඔවුන් අම්බර් තොගය මිලට ගැනීම සදහා ඒවා වට්ටුවාල් පාලම අසලට අයිතිකරුවන් විසින් රැගෙන ආ අවස්ථාවේදී අත් අඩංගුවට ගෙන තිබුණි.
මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.
තල්මසුන්ගේ පිත්තාශයෙන් නිකුත්වන ද්‍රව්‍යයකින් නිපදවෙන මෙම අම්බර ඔවුන් කලකට වරක් ශරීරයෙන් පිටතට පැහැර කරන අතර එය බැහැර කරන අවස්ථාවේ අධික දුර්ගන්ධයකින් යුක්තය.
එසේ වුවද මෙය කල් ගත වනවිට සුවඳ රඳවනයක් සේ ක්‍රියා කරන අතර මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනයේදී මෙම අම්බර යොදා ගැනේ. විලවුන් සුවඳ දිගු වෙලාවක් රැඳවා ගැනීමට මෙම අම්බරවල පවතින සංයෝගවලට හැකියාවක් පවතින බැවින් ඒ සඳහා විශාල වටිනාකමක් හිමිව තිබේ.
මෙම ද්‍රව්‍යයේ පවතින දුර්ලභ බව සහ මිල අධික බව නිසා බොහෝ විට සුවඳ විලවුන් නිෂ්පාදනයේදී ඇම්බ්රොක්සින්නම් කෘත්‍රිම රසායනයක් විකල්ප වශයෙන් යොදා ගැනේ.