කොවිඩ් වසංගතයට එරෙහිව වේගවත් එන්නත්කරණයක් සිදුව ඇති අවස්ථාවේ ඒ තුළ රජයේ ප්‍රසාදය ගම් බිම් මට්ටමින් රඳවා ගැනීම සඳහා හැකි තරම් එන්නත්කරණයේ සාර්ථකත්වය ජනතාව හමුවේ ඉදිරිපත් කරන ලෙස පොදුජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය නායකයන්ට උපදෙස් ලැබී ඇතැයි පොදුජන පෙරමුණු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ මඟින් මේ වනවිට රජය කෙරෙහි අප්‍රසාදයට මුල් වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීම, ගුරු වර්ජනය, පොහොර ප්රශ්නය වැනි ගැටලු හමුවේ ප්‍රාද්ශීය නායකයන් වෙත නැගෙන ජනතා විරෝධය පාලනය කිරීමට හැකිවනු ඇති බවත් එන්නත්කරණය සම්පූර්ණයෙන් සාර්ථක වූ පසුව රටේ සෙසු අංශ සක්‍රියව ක්‍රියාත්මක වීමෙන් අර්බුද බොහොමයක් අවසන් වනු ඇති බවට ජනතාවට ඒත්තු ගැන්වීම මෙහි අරමුණ බව මේ සම්බන්දයෙන් ලංකාසරට අදහස් දැක්වූ පොදු ජන පෙරමුනේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළේය.
පක්ෂය මඟින් දෛනිකව පවත්වන මාධ්‍ය හමුවලදී ද හැකිතරම් මෙම කරුණ ඉස්මතු කිරීමට උපදෙස් ලැබී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ වනවිට රජය මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 54ක් ඉක්මවා සම්පූර්ණ එන්නත්කරණයක් සිදු කොට ඇත අතර වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් සියයට සියයක්ම එන්නත්කරණය කොට ඇති බව සඳහන් කළ මෙම මන්ත්‍රීවරයා ඉදිරි එන්නත්කරණ කටයුතු ද වේගවත්ව ඉදිරි කාලය තුළ අවසන් කරගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.