ඓතිහාසික පෙරහර සම්ප්‍රදාය ගැන දියවඩන නිලමේවරයාත් මහ දේවාලය වූ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාත් හැරුණු විට හොඳින්ම දන්නේ තමන් මිස කතරගම දේවාලයේ බස්නායක නිලමේ වූ ගැමුණු බණ්ඩාර වළිසුන්දර නොවන බවත්, මුඛ ආවරණ නොපැළඳ පෙරහරේ ගමන් කළේ පෙරහර සම්ප්‍රදාය රකින්නට බවත් පසුගිය 18 වැනිදා රන්දෝලි පෙරහරේ විෂ්ණු දේවාල බස්නායක නිලමේ වරයා වෙනුවෙන් ගමන් ගත් අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා වූ ජයම්පති හීන්කෙන්ද ලංකාසරට පැවසීය.
මෙම නිලමේ වරුන් දෙදෙනාගේ ගැටුම නිසා ඉතිහාසයේ ප්‍රථම වරට ඓතිහාසික පෙරහර සම්ප්‍රදාය බිඳී තිබුණු බව පසුගිය 18 දා වාර්තා විය.
පෙරහර අවසානයේ සිවු මහා දේවාලවල නිලමේ වරුන් සංහිඳ යට දී හමුවී කෙරෙන අවසන් කෘත්‍ය කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් මගහැර යාම ඊට හේතුව ලෙස දැක්විනි.
එසේ නොපැමිණීමට එක් ප්‍රධාන සාධකයක් ලෙස කතරගම දේවාලයේ බස්නායක නිලමේ දක්වා තිබුණේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා වෙනුවට පෙරහරේ ගමන් කළ ජයම්පති හීන්කෙන්ද මුඛ ආවරණ නොපැළඳ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට පෙරහරේ ගමන් කිරීමය. ඔහු එසේ ගමන් කර තිබුණේ විෂ්ණු දේවාලයේ නැටුම් කණඩායම් තුනක් කොවිඩ් ආසාදිතව සිටින අතර බවත් කතරගම දේවාලයේ බස්නාය නිලමේ වරයා කීවේය.
අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වන ජයම්පති හීන්කෙන්ද මේ පිළිබඳව අද (21) ලංකාසරට මෙසේ පැවසීය.
“ පෙරහර සම්ප්‍රදාය ගැන කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට වඩා හොඳින් මා දන්නවා. මා අවුරුදු 19ක් පෙරහර කටයුතු සමග අඛන්ඩව කටයුතු කරනවා. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආවා ගියා තමයි. නමුත් ඔහු අවරුදු 37ක් එකදිගට මේ සම්ප්‍රදාය එක්ක හිටියෙ නෑ.“
“ පෙරහර සම්ප්‍රදාය එසේ මෙසේ දෙයක් නෙමෙයි. එය දේව බලයත්, විද්‍යාත්මක සම්ප්‍රදායත්, සොබා දහමත් එකට කැටි කළ ආශ්චර්යයක්. එහි ප්‍රතිඵල තමයි අපට ලැබෙන්නෙ. ඒ ආශීර්වාදය ආත්මය පුරාම යන එකක්.“
“ මුඛ ආවරණ දාන්නෙ මාළිගාවෙ මුරුතැන් පූජාව සඳහා පමණයි. දැන් තියන වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ඕන කියන එක පිළිගන්නවා. නමුත් අපි මේ පෙරහරේ ගමන් කරන්නේ කරඬුව දේව ආභරණ ආරක්ෂිතව නැවත දේවාලයට රැගෙන යන අදහසින්. පෙරහරින් ශුද්ධ වූ ආශීර්වාදයක් වගේම ආරක්ෂාවක් ලැබෙනවා.“
“ මා කළේ සෞඛ්‍ය නීති කඩපු එක නොවෙයි. පෙරහර සම්ප්‍රදාය ආරක්ෂා කළ එක. නැතිව පුරාජේරුව රටට පෙන්වූ එක නොවෙයි.“