ජයග්‍රහණයේ අසීමිත ආස්වාදය විදිමින් ලියා තබමු. කොල්ලො දිනුම්…
උන් අපට අසීමිත දුක් වේදනාවන් මොහොතකට අමතක කරවා තිබේ. මේ මොහොතේ මට හතර අතින් අසෙන්නෙ වෙඩි හඬය.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී පකිස්ථානය පරදවා ලකුණු 23කින් වික්‍රමාන්විත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර සමත් විය. අප ආසියානු කුසලානයක් දිනා ගන්නේ අවුරුදු 08කට පසුය. පකිස්ථානුවෝ පන්දු ඕවර 20 තුළ ලකුණු 147කට සියල්ලෝ දැවී ගියහ.
කාසියේ වාසිය දිනා ගත්තේ පකිස්ථානු කණ්ඩායමය. මේ තරගාවලියේ බොහෝ ජයග්‍රහණ තීන්දු කළේ කාසියේ වාසියෙනි. ඇෆ්ගනිස්ථාන ඉන්දියා තගරයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානුවන් හැරුණු විට අනෙක් සෑම තරගයක්ම දෙවනුව පිතිකරණයේ යෙදුණු කණ්ඩායම ජයග්‍රහණය කළේය. අද අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ඒ තත්ත්වය වෙනස් කළේය. කාසියේ වාසිය දිනූ පකිස්ථානුවෝ පරාජයට පත් වූහ.
දශක එක හමාරකට එපිට දී දුටු ක්‍රිකට් දුටුවෙමු. ශ්‍රී ලංකා කණ්ඩායම පිටියේ දී දැක්වූ අති විශිෂ්ට පන්දු රැකීම, මනා රිද්මය සහිත තියුණු පන්දු රැකීම ලකුණු 170 ඉලක්කය පකිස්ථානුවන්ට ලඟා විය නොහැකි අති විශාල කඩඉමක් බවට පත් කළේය.
ශ්‍රී ලංකා ඉනිම
ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ආරම්භ කළ ආකාරයට අපට සිහිවූයේ ඇෆ්ගනිස්ථානය හා පැවති මෙම තරගාවලියේ මුල්ම තරගය ය. පකිස්ථානු වේග පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් භීතියට පත් කළහ.
කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල කුඩු වෙන පන්දුවක් නසීම් ෂා පන්දු යැවීම ඇරම්භ කරමින් එවද්දී ඔහු ලකුණු ලබාගෙන තිබුණේ නැත. ඔහු කඩුල්ල කුඩු කරගත්තේ මුහුණ දුන් පළමු පන්දුවේ දී ය. පැයට කිලෝ මීටර 150කට ඉහළ වේගයකන් පන්දු යැවමේ නිරතවුණු හරිස් රවුෆ් ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල කඩු කළේය. ඔහු ලැබුවේ 1 ලකුණක් පමණි.

හරිස් රවුෆ් හමුවේ නායක බාබාර් අසාම්ට උඩ පන්දුවක් ලබා දී පැතුම් නිශ්ශංක ලකුණු 08කට දැවී ගියේය. පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණ හොඳින් පන්දුවට පහර එල්ල කරමින් සිටි ධනංජය ද සිල්වා පන්දු 21ක දී ලකුණු 28ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ ඉෆ්ටිකාර් අහමඩ් පන්දු යවා උඩපන්දුව රැක ගැනීමෙනි.
ඉතාම නුසුදුසු පහරක් එල්ල කිරීමට ගොස් දඟපන්දු යවන ශඩාබ් ඛාන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටී දසුන් ශානක ලකුණු 02කට දැවී ගියේය. දසුන් දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 58ට කඩුළු 05කි.
ගොඩ එන මානයක් පෙනෙන්ට තිබුණේ නැත. ලකුණු 120ක් බෝනස් එකක් බව සිතුවෙමු. ඒ අවස්ථාවේ දී වනිඳු සහ භානුක බලාපොරොත්තු සහගත ලෙස ඉනිම ගොඩනැගූ ආකාරය නර්තනයක් සේ රිද්යමානුකූල විය. ඔවුන් ලකුණු 58ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
වනිඳු ලකුණු 36 ක් පන්දු 21 තුළ ලබන්නේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගිනි. ඉන් අනතුරුව භානුකට එක් වුණු චාමික කරුණාරත්න පන්දු 14ක දී එක් හයේ පහරක් සමග ලකුණු 14ක් ලැබීය. හත්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුණු 54ක සම්බන්ධතාවයක් ගොඩනැගුනි.
භානුක රාජපක්ෂ

මෙම ඉලක්කය තෙක් කණ්ඩායම ඔසවාගෙන ආවේ භානුක රාජපක්ෂය. භානුක පන්දු 45ක දී ලකුණු 71 ලැබූවේය. ඇත්තෙන්ම අද වාසනාවත් ඔහු සමග සිටියේය. උඩ පන්දු දෙකක් අත්හැරිනි. එම උඩපන්දු දෙකම අත්හැරීම පසුපස ශඩාබ් ඛාන් සිටියේය.
හරීස් රවුෆ් යැවූ 17 ඕවරයේ තුන්වන පන්දුවේ දී භානුක එල්ල කළ අහස උසට නැගී බොහෝ වේලාවක් ගුවනේ පැවති පන්දුව උඩපන්දුවක් ලෙස රැක ගැනිමට ශඩාබ්ට හැකිවූයේ නැත. එය ඔහු අතින් ගිලිහී ගියේය. ඒ වනවිට භානු ලකුණු 50 සම්පූර්ණ කර තිබුණේ නැත. ඔහු සිටියේ ලකුණු 46 ය. 18 වැනි ඕ්වරයේ අවසන් පන්දුවේ දී මොහොමඩ් හස්නින් ගේ පන්දුවට ඉහළින්ම එල්ල කළ පහර උඩ පන්දුවක් ලෙස රැක ගනීමට ගොස් අසීෆ් අලි සහ ශඩාබ් ගැටුනි. අෆීස් අලී අතේ තිබූ පන්දු හතරේ සීමාවට ඉහළින් විසි වී ගියේය. ලකුණු 06ක් සිටහන් විනි.

භානුක අවසන් පන්දු දෙකෙන් ඉනිම නිමා කළ ආකාරය මනරම් විය. නසීම් ෂා යැවූ තරගයේ අවසන් පන්දු ඕවරයේ පස්වන පන්දුවට හතරේ පහරකි. හයවන පන්දුවට හයකි. ලකුණු 170 සටහන් වන්නේ එසේය.
පකිස්ථානු හඹා යෑම
ආරම්භක පිතිකරුවන් නායක බබාර් අසාම් සහ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ය. මුලම කඩුල්ල ලෙස දැවී ගියේ නායක අසාම්ය. ඔහු මෙවරත් අසමත් විය. තුන්වන ඕවරයේ දෙවැනි පන්දුවට මධුෂාන් හමුවේ ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 22කි. එම ඕවරයේ ඊලඟ පන්දුවට ෆඛාර් සමාන් දැවී ගියේය. තමන් මුහුණ දුන් මුල්ම පන්දුව ඔහුගේ කඩුල්ලේ දැවටිනි.
එතැන් සිට මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්ටිකාර් අහමඩ් පකිස්ථානුවන්ගේ ජයග්‍රහණයේ බලාපරොත්තු දල්වන පිතිකරණයක නිරත වූහ. දැවැන්ත ප්‍රහාරයකට පිවිසෙමින් මෙම පිතිකරුවන් දෙපල ඕවර 13.2ක් වනවිට ලකුණු 93 තෙක් ලකුනු පුවරුව නන්වමින් ලකුණු 71ක ස්ථායී සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

ප්‍රමෝද් මධුෂාන් නැවතත් පන්දු යැවීමට ගෙන්වීම මේ සම්බන්ධතාවය බිඳ දැමීමට හේතු විය. මධුෂාන් වේගය අඩාල කර එවූ පන්දුවකට ඉෆ්ටිඛාර් අහමඩ් හසුවුනේය. භානුක වෙනුවට පිටියේ පන්දු කරමින් සිටි අතිරේක ක්‍රීඩක අශේන් බණ්ඩා කදිම උඩපන්දුවක් රැකගත්තේය.
අනතුරුව ලකුණු 102කට ප්‍රමෝද් මධුෂාන්ට මොහොමඩ් නවාස් ලකුණු 06ක් ලබා සිටියදී දැවී ගියේය. ඒ චාමික කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
පකිස්ථානයේ බලාපොරොත්තු සහගතම ක්‍රීඩකයා වූයේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ය. රිස්වාන් පන්දු 49ක් තුළ ලකුණු 55ක් ලබා සිටිය දී වනිඳු හසරංගට ගොදුරු විය. ඔහුගේ කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක මනරම් උඩපන්දුවක් රැක ගත්තේය.
එතැන් සිට පකිස්ථානු ඉනිම බිඳවැටිනි. පකිස්ථානු අග පෙළ මුලුමනින්ම බිඳ දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කටයුතු කළහ. ඔවුන්ට මා හැඟි සහායක් පන්දු රැකීමෙන් ලැබිනි. මේ විශිටත්වය ජාත්‍යාන්තර විස්තර විචාරකයෝ නොමසුරුව අගය කළහ.
පකිස්ථානු ඉනිම සුනු විසුණු වීම

පකිස්තානු ඉනිම සුනු විසුණු කළේ යොවුන් ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ය. පකිස්තානු වේග පන්දු යවන්නන්ගේ වේගය ඔහු අහලකවත් නොවීය. එහෙත් ඉතා ණැනවත් ලෙස පාලනයකින් යුතුව ඉලක්කය වෙත පන්දු යැවීමේ පරිචය ඔහු පෙන්වා දුන්නේය. ප්‍රමෝද් මධුෂාන් පන්දු ඕවර 04 තුළ ලකුණු 34කට කඩුළු 04ක් ලැබීය.
වනිඳු හසරංගගේ පන්දු යැවීම විශ්මය දනවනසුළු බව ලියා තැබිය යුතුය. මුල් පන්දු ඕවර තුනේදී පකිස්ථානු ක්‍රීඩකයෝ ඔහුට කිසිම බුරුලක් ලබා නුදුන්හ. එහෙත් වනිඳු සිය අවසන් ඕවරයේ කඩුළු ලකුණු කඩුළු 03ක් බිඳ හෙළුවේය. පන්දු ඕවර 04 තුළ ලකුණු 27කට ඔහු කඩුළු 03 සඳහා ලකුණු 27ක් ලබා දී තිබිණි.
චාමික කරුණාරත්න පන්දු ඕවර 04ට ලකුණු 33ක් දී කඩුලු 02ක් ද මහේෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුල්ලක් ද ලැබීය.
තරගයේ වීරයා භානුක රාජපක්ෂය. ඔහු වීරයෙක් වීමට සුදුසු බව අද තරගයේ දී පෙන්වා දුන්නේය. තරගාවලියේ වීරයා වනිඳු හසරංගය.
අද ජයග්‍රාහී දිනයකි. ආසියානු කුසලාන දැල්පන්දු ශූරතා තරගාවලියේ ශූරයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද කිරුළු පැළඳුවේය.







