දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ රාමේස්වරන් ධීවරයෝ බෝට්ටු 800 ක පමණ කලු කොඩි බැඳ ඊයේ ( 18 ) සිට විරෝධතාවයක නිරතව සිටිති.
රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානී ජේසුදාසන් ප්‍රකාශ කරන්නේ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන උතුරේ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමේදී එම ධීවරයින්ට ආකාර දෙකකට දඬුවම් ලබා දීම නීති විරෝධී බවය.
උතුරු මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකුගෙන් ට්‍රෝලර් යාත්‍රා පැද වූ දෙදෙනාට මාස හයක සිර දඩුවමක්ද ධීවරයින් මෙහෙයවන ලද ඉන්දීය ව්‍යාපාරිකයෙකුට වසරක සිරදඩුවමක්ද නියම කොට සෙසු පිරිස මීලඟ නඩු දිනය දක්වා බන්ධනාගාර ගත කිරීමට යාපනයේ අධිකරණ විසින් ලබා දී ඇති තීන්දු සාධාරණ නොමැති බව රාමේස්වරන් ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටිති.
එමෙන්ම ඉතා දිගු කාලයක් උතුරේ බන්ධනාගාර වල සිරකොට සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනා වහාම නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුව අති බවද රාමේස්වරන් ධීවර සංගම් කියා සිටියි.
මේ කාරණා සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට දැනට බන්ධනාගාරවල සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට යම් පියවරක් අනුගමනය කරන තුරු ඔවුන්ගේ විරෝධය අත් නොහරින බවද ප්‍රකාශකොට තිබේ.
රාමේස්වරන් ධීවර වරායේ දැනට ක්‍රියාත්මක විරෝධතාවයට අමතරව මේ මස 23 හා 24 යන දිනවල පවැත්වෙන කච්චතීව් වාර්ෂික මංගල්ලයටද රාමේස්වරන් ධීවරයන් සහභාගී නොවන බවට එම ධීවර සංගමය නිවේදනයක් නිකුත් කොට තිබේ.
ඉන්දීය ධීවරයින් පිරිස උතුරේ බන්ධනාගාරවලින් නිදහස් කර ගැනීමට තමිල්නාඩු රජය පියවර නොගත හොත් දැනට රාමේස්වරන් ධීවරයින් විසින් ආරම්භ කොට ඇති විරෝධතාවය මුළු තමිල්නාඩුවේම ධීවර සංගම් එකතුව සාමූහික විරෝධයක් බවට පත් කරණ බවද රාමේස්වරන් ධීවර සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.