ජාතියක් ලෙස අතිශය වැදගත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියකට රට පරිවර්තනය කිරීමේ දී කෘෂිකර්මය සම්බන්ධ මූලික සිද්ධාන්තවත් නොසලකා ජනාධිපතිවරයා වටේ සිට ඔහුට උපදෙස් දෙන පිරිස් නිසා මේ වනවිට රට තුළ ඇති වී ඇති බරපතල කෘෂිකාර්මික අර්බුදය ප්‍රායෝගිකව විසඳා ගැනීමට හැකි නිශ්චිත ක්‍රමවෙදයක් ඇති බවත්, රට තව දුරටත් අනතුරේ නොදා මේ සම්බන්ධව ජනාධිපතිවරයාට පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීන විද්වතුන් 142ක් ස්වකීය අත්සනින් යුතු ලිපියක් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ වෙත යොමු කර තිබේ.
පේරාදෙණිය, ඌව වෙල්ලස්ස , යාපනය, සබරගමුව, ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, නැගෙනහිර, රුහුණ, රජරට යන විශ්ව විද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, ඇතුළු විශ්විද්‍යාල පද්ධතියේ විද්වතුන් ද, උක් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ කටයුතු කළ අධ්‍යක්ෂ ජනාරල් නිලයේ සිට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරු ඇතුළු හිටපු අධ්‍යක්ෂවරු සහිත ප්‍රාමාණිකයන් ද සහිත පිරිසක් මෙම ලේඛණයට අත්සන් කර සිටිති.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටින ස්වාධීන ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය විද්‍යාඥයින් පිරිසක් වශයෙන් අද වනවිට කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ හරිත කෘෂිකර්ම දැක්මට අනුගතව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීම තම අභිප්‍රාය බවත්, ඒ සඳහා ස්වකීය නියෝජිතයන් කණ්ඩායමකට ජනාධිපතිවරයා හමුවීමට අවසර ලබා දෙන ලෙසත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.