මනම්පිටිය නිමල් ජයරත්න –
මොරගහකන්ද කලාපයේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවිසංවිධාන හා ස්වාධීන ගොවිසංවිධාන එක්ව ආරම්භ කළ උපවාසයට දින හතරක් පිරෙන අද (27) ඊට සහය පල කිරීමට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුල අලංකාර නාහිමි ඇතුළු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා හත් නමක් එහි වැඩම කර උපවාස කරුවන් හා එක් වූහ.
ඊට අමතරව ප්‍රදේශයේ පූජකතුමන්ලා සහ කුරුක්කල්තුමන්ලා ඇතුලු සර්ව ආගමික නායකයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් ගොවි උපවාසයට සහය දැක්වීම සඳහා එක් වූහ.
උපවාසයේ නිරත ගොවින්ගේ සටනට ආශිර්වාදය පතා පිරිත් නූල් ගැට ගසා පිරිත් දේශනයක් ද කළ මහා සංඝරත්නය වෙනුවෙන් අනතුරුව විශේෂ අනුශාසනාවක් කළ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ මෙසේ වදාළහ.
“රසායනික පොහොර දෙනතුරු රටපුරා ගොවින් මේ වගේ උපවාස කරනවා…අපි දානෙ වළඳන්නේ පන්සල් හදන්නේ, පිංකම් කරන්නේ මේ ගොවි මහත්තුර මේ රට අස්වද්දන නිසා. රටම පෝෂණය වෙන්නේ තුන්වේල බත් කන්නේ ගොවින් නිසා. ඒ නිසා ගොවින්ට ශක්තියක් දෙන්න අපි හැමෝම එකතු වෙමු“ උන්වහන්සේ වදාළහ.