අනුරාධපුර පර්සි කුරුනේරු –
උසාවිය ඉදිරිපිට තමන්ගේ කාර්යාලය පවත්වාගෙන යන කඩ කාමරය කූඨ ලේඛන සකස් කර අත්පත් කරගෙන සිටි නිතිඥවරියකට එරෙහිව කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබුණු නඩුවකට අදාල මුල් ලේඛන ලේඛනාගාර ලිපි ගොනුවෙන් ඉරා මුව තුළ දමාගෙන හපා ගිලින්නට උත්සාහ කළ නීතිඥවරියක් කැකිරාව පොලිිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
කැකිරාවේ ජ්‍යෙෂ්ඨ නිතිඥයෙක් සතුව කැකිරාව උසාවිය ඉදිරිපිට තිබූ කඩ කාමරයක දීර්ඝ කාලයක් තිස්සේ එක්තරා නීතිඥවරියක විසින් කුලී පදනම මත සිය කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ.
කාලයක් තිස්සේ මෙම කඩ කාමරය හිමිකරු විසින් ඉල්ලා සිටියත් නීතිඥවරිය ඉන් පිටවී යෑම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ සම්බන්ධව කඩකාමරයේ හිමිකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත. ඒ අවස්ථාවේ දී නීතිඥවරිය විසින් කඩකාමරය හිමිකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සන සහිත ලේඛන දෙකක් ඉදිරිපත් කර ප්‍රකාශ කර ඇත්තේ එය ලක්ෂ 20කට ඔහු තමන්ට විකිණූ බවත් දැන් එම කඩකාමරයේ හිමිකම තමන්ගේ බවත්ය.
මේ සම්බන්ධව අගතියට පත් පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ මෙම අත්සන තමන්ගේ අත්සන නොවන බවය. අත්සන පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසය. ඒ අනුව උසාවි නියෝගයක් මත අත්සන පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබිණි.
මේ අතර විමර්ශනය කරගෙන යන අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව පවරා ඇති ආකාරය දෝෂ සහිත බව දන්වා සිටියේය. අගතියට පත් පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගත්තේය.
ඒ අතර අත්සන් පරීක්ෂාව සඳහා යැවූ රස පරීක්ෂක වාර්තාව පැමිණ තිබිණි. එම වාර්තාව අනුව මෙම අත්සන් නොගැලපෙන බවත්, ලේඛනයේ සඳහන් අත්සන ව්‍යාජ එකක් බවත් තහවුරු කර තිබිණි.
මෙම ලේඛන පැමිණි වහාම අගතියට පත් පාර්ශවය එහි මුල් ලේඛනවල පිටපත් ලබා ගත්තේය. ඒ බව සැල වූ නීතිඥවරිය තමන් වෙත කූඨ ලේඛන සකස් කිරීම පිළිබඳ නඩුවක් පැවරෙන බව වටහාගෙන එම ලේඛන දෙක සම්බන්ධව ඉල්ලීමක් කිරීමට ලේඛනාගාරය වෙත ගොස් තිබිණි.
රෙජිට්‍රාවරිය විසින් එම ලේඛන පිටතට ගැනීම සඳහා ලේඛන භාරව සිටින නිලධාරිණිය වෙත සටහනක් යවා ඇය සේප්පුවෙන් එම ලේඛන පිටතට ගත් අවස්ථාවේ නීතිඥවරිය එම ලේඛන දෙක ඉරා සිය මුව තුළ දමාගෙන හපන්නට පටන් ගෙන ඇත.
ඒ සිද්ධිය මුලුමනින්ම වීඩියෝගත කළ ලේඛනාගාර කාර්යමණඩලය මේ සම්බන්ධව කැකිරාව පොලිස් ස්ථානය වෙත දන්වා තිබේ.
ඒ සමගම එතෙන්ට පැමිණි කැකිරාව පොලිසියේ නිලධාරීන් නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇය හපමින් සිටි ලේඛන කොටසක් ද සොයාගෙන ඇත.
මේ වනවිට ඇය පොලිස් අත්අඩංගුවේ පසුවවන අතර අද (28) කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව පොලිිසිය කීවේය.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්.මුණසිංහ ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.







