දිනසේන රතුගමගේ –
මුලතිව් කුරුඳුමලේ බෞද්ධ විහාරාසන්න ප්‍රදේශයේ කැණීම්වලින් හමු වී ඇත්තේ බෞද්ධ ස්තූපයක නටබුන් නොවන නිසා එහි අයිතිය හින්දු බැතිමතුන්ගේ බව ඉතා හොදින් පැහැදිලි වන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කීප දෙනෙකුම ප්‍රකාශ කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ටී.රවිහරන් යන දෙදෙනාම පවසන්නේ බෞද්ධ ස්තූපයක් යනුවෙන් හැදින්වූ ස්ථානයෙන් හමු වී ඇත්තේ අට මුහුණැති ශිව ලිංගයක් නිසා මේ ස්ථානයේ අතීතයේදී පිහිටා තිබුණේ ශිව කෝවිලක් බවයි.
හින්දු බැතිමතුන් ආදී සිවන් අයියනාර් කෝවිල ලෙස මේ ප්‍රදේශය හැදින්වූ බව සඳහන් කරන එම දේශපාලනඥයින් දෙදෙනා සිංහල බෞද්ධ වැසියන් මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බව පෙන්වා දෙමින් එය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයිද පැවසීය.
විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මේ ස්ථානයේ පුරා විද්‍යා කැණීම් පසුගිය ජනවාරී මාසයේදී ආරම්භ වූ අතර පුරා විද්‍යා නිලධාරීන් පවසන්නේ කැණීම් වලදී පෙබරවාරී මාසයේ දෙවන සතියේදී හමු වූ බෞද්ධ ස්තූපය අනුරාධපුර යුගයට අයත් බවයි. එම ස්ථූප නටබුනු සමග දාගැබේ චත්‍රාවලිය නැන්වූ පැති අටකින් යුතු යූපගල හමු වී තිබේ.
කබොක් ගලින් සාදන ලද මෙම ස්තූපය දළ වශයෙන් මීටර් 7 ක් පමණ වන අතර ඉන් මීටර් තුනක පමණ ප්‍රමාණයක් මතු කරගෙන තිබේ.
ඊට වඩා තවත් විශාල ප්‍රමාණයක් පොළොව මතුපිටට ඇති නිසා මේ ස්තූපයේ නියම උස ගැන කිසිවක් සඳහන් කළ නොහැකි බව මුලතිව් පුරා විද්‍යා නිලධාරීන් සදහන් කරයි.
කෙසේ වෙතත් මුලතිව් කුරුදුමලේ අක්කර 87 ක පමණ භූමි ප්‍රමාණයක නටබුන් පුරා විද්‍යා නිලධාරීන් විසින් හදුනා ගෙන ඇති අතර ඊටත් වඩා වපසරියක් පුරා මේ නටබුන් විහිදී පැතිරී පවතින බවට විශ්වාස කරයි.