දිනසේන රතුගමගේ –
අධික වර්ෂාවත් සමගම වවුනියාව මන්නාරම සහ කිළිනොච්චි පළාත්වල පහත් බිම් ජලයෙන් යටවීමත් සමගම එම පළාත්වල පවුල් අටසීයකට පමණ අයත් වැසියන් 3200 කට පමණ එදිනෙදා ජන ජීවිතයට බාධාවන් එල්ල වී තිබේ.
කිළිනොච්චියේ කුඩා වැව් වාන් දැමීම නිසා එම වාන් ජලය පහත් බිම් කරා ගලා යාම නිසා කිළිනොච්චියේ නිවාස 168 ක් ජලයෙන් යට වී තිබේ.
කිළිනොච්චියේ ධීවරයින්ගේ දැල් හා බෝට්ටු වර්ෂා ජලයට හසු වී ගසා ගෙන ගොස් ඇති බවට ධීවරයින් පිරිසක් පැමිණිලි කොට ඔවුන්ට යළි ධිවර රැකියාව ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ධීවර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
වවුනියාවේ පේරාරූ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමගම එම ජලය පහත් බිම් කරා ගලා යාම නිසා ඒ අවට පදිංචිකරුවන් ඉවත් වී සිටි අතර ඔවුන්ට අනතුරු ඇඟවීමක්ද නිකුත් කොට තිබුණි.
මේ අතර වවුනියාවේ නොච්චිකුලම් වැවේ වැව් බැම්ම 1 දා රාත්‍රීයේ කඩා ගෙන යාමේ අවදානමකට ලක් ව තිබූ අතර යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශද ගොවියන්ද එක්ව වැවේ වැව් බැම්ම තාවකාලිකව ආරක්ෂා කිරීමට පියවර රැසක්ම ගෙන තිබේ.
මන්නාරමේ එමිල්නගර් සවුත්බාර් ඇතුලු ගම්මාන කීපයක්ද යාපනයේ ගම්මාන කීපයක්ද ජලයෙන් යට වී තිබේ.







