විදුලි බල මණ්ඩලය කොටස් 15කට කඩා විදේශීය ආයතන වෙත විකුණා දැමීම අරමුණු කරගත් නව විදුලිබල පනත ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් අද (21) කැඳවූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති ජාතික මහා සමුළුවේ දී එකමතිකව සම්මත වී තිබේ.
ඒ සඳහා රටේ සියලුම ජනතාව ද, සියලුම දේශපාලන පක්ෂ ද, බහුජන සංවිධාන ද, සියලුම ආගමික නායකයින් ද එක්කර ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමටත්, විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීන විද්වතුන් නොවිමසා රටට අවාසි දායක යෝජනා ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට උත්සාහ කළහොත් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටීමටත් එහිදී යෝජනා වී ඇත.
එමන්ම විදුලිබල මණ්ඩලයට ප්‍රතිව්‍යුහගතකරණයක් අනිවාර්යයෙන් අවශ්‍ය බවත් එය ජාතික අවශ්‍යතා ප්‍රමුඛ කරගත් රටට වඩාත් වැඩි ප්‍රතිලාභ උපදවන සාධනීය එකක් වියයුතු බවටත් එවැනි ප්‍රතිව්‍යුගතකරණයක් සඳහා එකඟවීමටත් මෙම මහා සමුලුවේදී යෝජනා සම්මත කරගෙන තිබේ.
එමෙන්ම තුන්දහස් අටසියයක් පමණ වූ සේවක පිරිසක් ස්ථිර සේවයට බඳවා ගැනීම, මෙතෙක් සේවකයන්ට ලබා නුදුන් ඔවුන්ට හිමි වෛද්‍ය ආධාර දීමනාව ලබා දිම, අභ්‍යන්තර උසස්වීම් වැලැක්වීම, අර්ථසාධක අරමුදලේ මෙතෙක් භුක්ති විඳි අයිතීන් යලි ලබා ගැනීම, විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමටත් මහා සමුළුවේ දි එකඟ වි ඇත.
එමෙන්ම කම්කරු අයිතීන් ප්‍රකාරව වෘත්තීය සමිතිවල ක්‍රියාකාරී නායකයින් යළි සේවයට කැඳවමින් කරන මර්ධනකාරී හැසිරීම් හෙළා දැකිමටත් ආණ්ඩුවේ සමස්ථ මර්ධනකාරී වැඩසටහනට එක්ව විරෝධතාවය දැක්වීමටත් සමුළුවේ දී එකඟ වී තිබේ.